Jun 29, 2012

තාම හිතේ ඔබ ඇරුනම කවුරුත් නෑනේ !

                 


                                          හිතුවෙවත් නැති වෙලාවක හරිම අහඹු විදියට අද මට ඔයාව මුණ ගැහුණා.පපුව ගිනියම් වෙලා ඇස් දෙක සීතළ වුනා. මම බය උනා කඳුලු වලින් ඇස්  දෙක බොඳ උනොත් ඔයාව හරියට බලා ගන්න බැරි වෙයි කියල.උනන උනන හැම කඳුළක්ම ලේස්න්සුවට තෙත මාත්තු කර කර මම ඔයාට හොරෙන් ඔයා දිහාම බලන් හිටිය.ඔයා ඉස්සරට වැඩිය දැන් ගොඩක් මහතයි.ලොකු බඩගෙඩියකුත් දාලා. ඒත් අඩි හයකටත් වැඩිය උස ඔයාට ඒක ඒ තරම් කැත නෑ.රාක්ක අස්සෙ එහා මෙහා වෙන  ඔයාගෙන් වසං වෙවී ඔයාගෙ පස්සෙන් වැටි වැටී ඔයාව  ළඟට බලා ගන්න අනේ මම විඳපු දුකක් ඔයා දන්නවනම්.....

                                     මේක එච්චර හොද වැඩක් නෙවෙයි පුලුවන් ඉක්මනට මෙතනින් ඈත් වෙයන්... කියල මගේ බුද්ධිය මට කීප සැරයක්ම අනතුරු ඇගෙව්ව.ඒත් හදවත හිටියෙ ඒවා අහන්න පුලුවන් තරම් සිහි කල්පනාවකින් නෙවෙයි.වේලිලා කර කුට්ටං වෙච්ච හදවතේ හැම කේශ නාලිකාවකටම ලේ පිරෙනව මට දැනුන.මට ඕන උනේ ඔය ඇස් දිහා බලන්න. රාක්ක දිගේ උඩටත් පල්ලෙහාටත් දුව්න ඇස් මම මොහොතකට හොරෙන්ම අල්ල ගත්ත. තාම එදා වගේමයි කිසිම වෙනසක් නෑ....ඔයාට මම කොහොම කියන්නද ... තාමත් මම ආදරේම... ආසම ඔය ඇස් හ්ඩෙකට කියල....

                                          තප්පරයක් ගියේ නෑ එක පාරටම කොහේදෝ ඉඳන් ආපු එයා ඔයාගෙ අතින් අල්ල ගත්ත.. ඔයා හැරිල එයා දිහා බලල මොනාදෝ කිව්ව... මම දඩස් ගාලා අනිත් පැත්තට හැරුන... ඔව් ඒ තමා මම මේ ජීවිතේ දකින්න අකමැතිම දසුන... එයා ඔයා එක්ක...ඒ ඇත්ත පිළිගන්න අදටත් මේ ඇස් සූදනම් නෑ...මිලදී ගන්න තෝර ගත්ත අඩුම කුඩුම ටික එහෙමම  රාක්කෙකට අතඇරල මම එලියට දුවගෙන ආවා.එතකොටයි දන්නෙ  මහා හයියෙන්  වහින බව... මේ වැස්සට පුලුවන්ද මගේ කඳුළු වැස්ස පරාද කරන්න...මම තෙමි තෙමිම ඇවිත් ත්‍රීවීල් එකකට නැග්ග.ත්‍රීවීල් එකේ මහ සද්දෙට දාල තිබුන සිංදුව මගේ කඳුළු ආයෙම අලුත් කලා.

 හැමදාම හඬන සිත හදන්න ඔබ ළඟ නෑනේ
 කවුරුවත් එපා මගෙ තනියට දුක දැනුනාවේ
 ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ
 මට විතරද දුක දැනෙන්නෙ මං දන්නෑනේ....

 සඳ මඬළට උපමාකර කවි ලිව් කාලේ
 කාගෙත් දුක  දැනෙනා හිතක් ඔබ සතු වූයේ
 කඳුලු බලා ඔබ මට අද හිනැහෙනවානේ
 ඔබවම සිත පතනා කරුණ මං දන්නෑනේ....

 නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ
 තාම හිතේ ඔබ ඇරුනම කවුරුත් නෑනේ
 අද නැති මුත් ළඟ සිටි දා හිත හැදුවානේ
 හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ....

        

Jun 11, 2012

මං හින්දා දවසක ඔබ හඬාවි !






සෙනෙහසේ ගං දෑළ කෙළවරක
නුඹ පිපී උන් අරුම ඉස්සරම
කෙකටියා මල් සුවඳ ගෙන වඩින
මුඳු සුළඟ පවසාවි මට දුකින


යෞවනේ උයන මත සැරිසරණ
නෙක බිඟුන් පැතුවාට මුඳු පහස
නොවී අවනත බඹර පහසකට
තනි වෙච්ච තනි රෝස මල තවම


ජීවිතේ දිගු ගමන් මග මෙහෙම
යනෙන විට අත් වාරුවක් නැතුව
අතීතේ මතක මං පෙත තනිව
හොයමි තවමත් පුරුදු ඒ සුවඳ


 මට තව අඬන්න ඕනෙ..... ඒත් කෝ කඳුළු.....පහුගිය අවුරුදු අට පුරාම ඔයා  හිතේ හැටියට හිනා වෙද්දි මම  කලේ හිතේ හැටියට අඬපු එක.... විඳවපු එක...දැන් මේ කඳුලු මටම අප්පිරියයි....ඔව් ඇත්තටම ඔයාගේ මතකය මට මහා අප්පිරියයි...ඒත් ඒත් ... ඒ අතීතෙට මම තාමත් ආදරෙයි... ඒ නිසා මට ඔයාව අමතක කරන්න බෑ....

        මතකද කාලයක් අපි හරි සතුටින් හිටිය....? පාන්දරම නැගිටල උයල  ඔයා වැඩට යන්න ලෑස්ති වෙනකං මම පොඩි එකෙක්ට වගේ ඔයා පස්සේ වැටි වැටී ඔයාට බත් කැව්වා. ඒ දවස්වල හැමදාමත් ඔයා  මම කවන බත් එක කාලා උදේ වැඩට ගියේ.... හැමදාමත් ඔයාගෙ කකුල් දෙක අල්ලලා වැඳලා නින්දට ගිය මං ගැන තමා ඔයා පස්සේ කාලෙක අර ඔයාගේ ජීවිතේට  රිංගපු අනිත් කෙනාට මහ හුගක් වැරදි අඩුපාඩු කියලා තිබුනේ...ඒ ගැන මට පුදුමයක් නෑ මොකද  තමන්ගේ ගෑණිගේ හොද කිය කිය  වෙන ගෑණියෙක්ට ළං වෙන්න බෑනේ.ඔයා විතරක් නෙවෙයි කොයි පිරිමියත්  ඔය අවස්ථාවේදී කරන්නෙ ඔයා කරපු දේමයි.ඒත් .. ඒත්... ඔයාගේ හදවත ඇත්ත දන්නවා නේද ....?

      " මට  සමාවෙන්න... මම වරදක් කලා " කියල කවදාවත් ඇවිත් නොකිව්වට කමක් නෑ. ඒත් ඔයා  අන්තිම හුස්ම හෙලන කවදම හරි දවසක ඔයා ඔයාගේ හෘදසාක්ශියට එක තප්පරේකට හරි ඇහුම්කන් දෙන්න.එදාට ඔය ඇස් වලින් මං  වෙනුවෙන් කඳුළක් වැටෙනවාමයි.