Sep 4, 2012

මේ වැස්ස නවතින්න... මගේ හිත අඬනවා...




ඔයාට අමතක උනා නේද..... ඊයෙ දවස ගැන..... බිනර මහේ 03 වෙනිදා ... අමතකයිද ..? මම දන්නව ඔයාට මතක නෑ ඒත් මට අමතක නෑ මීට හරියටම  අවුරුදු 15 ට කලින් අපි අපේම වෙච්ච ඒ දවස මම කොහොම අමතක කරන්නද... ඊයෙ මහ හුඟක් මෙහෙට වැස්සා මම වැස්ස දිහා බලාගෙන අපේ ජීවිතේ ගෙවුණු ඒ ලස්සනම දවස් සිහිපත් කලා.

මම දන්නවා එදා වගේම අදත් අපි එකට හිටියනම්  ඔයා මේ දවස සමරන්න ලොකු පාටියක් දාවි.අවුරුදු 15 ක විවාහ ජීවිතයක් කියන්නෙ කොයි තරම් ලොකු කාලයක්ද... ඒත් මේ ගෙවුණ  වසර පහලවෙන් අවුරුදු නවයක්ම මම ගෙව්වෙ මිනිහා දාල ගිය ගැහැණියක් විදියට.පුංචිම පුංචි වයසකදි මේ තරම් ලොකු දඬුවමක් මගේ ජීවිතේට දීල ඔයා මාව මෙහෙම අසරණ කලේ මොන හිතකින්ද කියල මම ඇහුවොත් ඔයාට උත්තර නෑ නේද ...?මගේ තරුණ ජීවිතේ හොදම කාලෙ මට  අයිති උනේ අඬන්න දොඩන්න හූල්ලන්න දුක් විඳින්න තනිවෙන්න.


මම දන්නවා ඊයේ අපේ  විවාහ සංවස්තරේ කියලා ඔයාට යාන්තමින්වත් සිහියට එන්න නැතුව ඇති.මම උනත් ඒක හිතේම තියා ගත්තා මිසක් කාටවත්ම කියන්න ගියේ නෑ. එහෙම උනානම් කට්ටිය මට දෙහිකපාවි හොදට.තාමත් ඕවා සිහියෙ  තියන් ඉන්නවද කියල. ලවක් දෙවක් නැතුව කට්ටිය ඔයාටත් දෙස් දෙවොල් තියාවි.එහෙම කරන්න එයාලට අයිතිය තියෙනවා. ඒත් මට අපේ කට්ටිය ලව්වා ඔයාට බන්නන්න අදටත් හිත හදා ගන්න බෑ.


ඊයෙ වගේම අදත් මහ වැස්ස. මේ වැස්සත් එක්ක බැඳිච්ච අපේ මතකනම් කොයි තරං ඇද්ද..දුකයි තමයි ඒත් ඒ දෙවල් මතක් නොකර ඉන්න තරම් මගේ හිතට හයියක් නෑ.වෙලාවකට මේ වැස්සත් එක්ක මට කේන්ති.පහුගිය මතකය මගේ හිතට කොච්චර වද දෙනවද කියල මේ වැස්ස දන්නෙ නෑ.ඒත් මම කොහොමද වැස්සට දොස් කියන්නෙ...මාව ජීවත් කරවන්නෙ තාමත් ඒ මතකය වෙච්ච කොට.


අඬනකොට මහා හයියෙන් අහස

කොටනවා විදුලි මගෙ හිත මත
තනිව තෙමෙමින් විසුල අහස යට
හොයනවා බොඳව වියැකුණු මතක

දන්නවා මේ වැස්ස යටම ඔබ

ඇගේ අත අරන් පියමනින බව
අනේ හමුවුනොත් පෙර අපෙ මතක
දැක්ක නොදැක්කා වගේ යනවාද