Showing posts with label ඉරණම් සිතුවිලි. Show all posts
Showing posts with label ඉරණම් සිතුවිලි. Show all posts

Jun 29, 2012

තාම හිතේ ඔබ ඇරුනම කවුරුත් නෑනේ !

                 


                                          හිතුවෙවත් නැති වෙලාවක හරිම අහඹු විදියට අද මට ඔයාව මුණ ගැහුණා.පපුව ගිනියම් වෙලා ඇස් දෙක සීතළ වුනා. මම බය උනා කඳුලු වලින් ඇස්  දෙක බොඳ උනොත් ඔයාව හරියට බලා ගන්න බැරි වෙයි කියල.උනන උනන හැම කඳුළක්ම ලේස්න්සුවට තෙත මාත්තු කර කර මම ඔයාට හොරෙන් ඔයා දිහාම බලන් හිටිය.ඔයා ඉස්සරට වැඩිය දැන් ගොඩක් මහතයි.ලොකු බඩගෙඩියකුත් දාලා. ඒත් අඩි හයකටත් වැඩිය උස ඔයාට ඒක ඒ තරම් කැත නෑ.රාක්ක අස්සෙ එහා මෙහා වෙන  ඔයාගෙන් වසං වෙවී ඔයාගෙ පස්සෙන් වැටි වැටී ඔයාව  ළඟට බලා ගන්න අනේ මම විඳපු දුකක් ඔයා දන්නවනම්.....

                                     මේක එච්චර හොද වැඩක් නෙවෙයි පුලුවන් ඉක්මනට මෙතනින් ඈත් වෙයන්... කියල මගේ බුද්ධිය මට කීප සැරයක්ම අනතුරු ඇගෙව්ව.ඒත් හදවත හිටියෙ ඒවා අහන්න පුලුවන් තරම් සිහි කල්පනාවකින් නෙවෙයි.වේලිලා කර කුට්ටං වෙච්ච හදවතේ හැම කේශ නාලිකාවකටම ලේ පිරෙනව මට දැනුන.මට ඕන උනේ ඔය ඇස් දිහා බලන්න. රාක්ක දිගේ උඩටත් පල්ලෙහාටත් දුව්න ඇස් මම මොහොතකට හොරෙන්ම අල්ල ගත්ත. තාම එදා වගේමයි කිසිම වෙනසක් නෑ....ඔයාට මම කොහොම කියන්නද ... තාමත් මම ආදරේම... ආසම ඔය ඇස් හ්ඩෙකට කියල....

                                          තප්පරයක් ගියේ නෑ එක පාරටම කොහේදෝ ඉඳන් ආපු එයා ඔයාගෙ අතින් අල්ල ගත්ත.. ඔයා හැරිල එයා දිහා බලල මොනාදෝ කිව්ව... මම දඩස් ගාලා අනිත් පැත්තට හැරුන... ඔව් ඒ තමා මම මේ ජීවිතේ දකින්න අකමැතිම දසුන... එයා ඔයා එක්ක...ඒ ඇත්ත පිළිගන්න අදටත් මේ ඇස් සූදනම් නෑ...මිලදී ගන්න තෝර ගත්ත අඩුම කුඩුම ටික එහෙමම  රාක්කෙකට අතඇරල මම එලියට දුවගෙන ආවා.එතකොටයි දන්නෙ  මහා හයියෙන්  වහින බව... මේ වැස්සට පුලුවන්ද මගේ කඳුළු වැස්ස පරාද කරන්න...මම තෙමි තෙමිම ඇවිත් ත්‍රීවීල් එකකට නැග්ග.ත්‍රීවීල් එකේ මහ සද්දෙට දාල තිබුන සිංදුව මගේ කඳුළු ආයෙම අලුත් කලා.

 හැමදාම හඬන සිත හදන්න ඔබ ළඟ නෑනේ
 කවුරුවත් එපා මගෙ තනියට දුක දැනුනාවේ
 ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ
 මට විතරද දුක දැනෙන්නෙ මං දන්නෑනේ....

 සඳ මඬළට උපමාකර කවි ලිව් කාලේ
 කාගෙත් දුක  දැනෙනා හිතක් ඔබ සතු වූයේ
 කඳුලු බලා ඔබ මට අද හිනැහෙනවානේ
 ඔබවම සිත පතනා කරුණ මං දන්නෑනේ....

 නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ
 තාම හිතේ ඔබ ඇරුනම කවුරුත් නෑනේ
 අද නැති මුත් ළඟ සිටි දා හිත හැදුවානේ
 හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ....

        

Feb 27, 2012

ඔබ ඉතිරි කර ගිය මතකය මා රිදවන තරම් !


අහස ගුගුරා ....... අකුණු පුපුරා....
මගේ හිත .....  වැන්දඹු වුනා
වසා ........ ගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි.....

                                      මේ කාලෙකට ඉස්සර ගිය  අග පිපි මල් ටෙලි නාට්‍යයේ  තේමා ගීතය.නන්දා මාලිනියගේ ගැඹුරු සුමඳුර හඬින් ගැයෙන මේ ගීය තමා මම මෙතෙක් අහපු මගේ ජීවිතයට වඩාත්ම සමීප  එකම පද පෙළ. මාලනිය මේ ගයන්නේ මගේ හිත.... මගේ ආත්මය.... මගේ ජීවිතයම නොවේද.....?

ආලයක් නැතී...... තාලයක් නැතී
විජිතයේ....කටු ඔටුනු හැර යම්
කාලයක් අපි ආදරෙන්  සිටි
සොඳුරු මතකය ..අරන් යන්නෙමි


වසා...........ගන්දොර මගේ හිමියනි

නුඹට රිසිනම් යන්ට යන්නෙමි.....
                           

                  කාලයක් තිස්සෙ මම විඳින ... විඳවන ජීවිතේ මේ පද වල අපූරුවට ගැබ් වෙලා තියෙනව. තාමත් නින්ද නොයන මහ රෑට  මම ඇහැරිලා මේ ගීතය රිපීට් කර කර අහල අඬන තරං දන්නෙ මමයි මගේ ඇසුයි විතරමයි.ඇස් පියාගෙන මේ සිංදුව අහද්දි මට මතක් වෙනව ඒ අතීතය...  අමතක කරන්න වෙර දරන ඒත් තාමත් අමතක කරගන්න බැරිවුන ඒ  අතීතය.....

                 මං අපේ අවුරුදු හතරක පුංචි පුතු පැටියව තුරුළු කරගෙන ඔයා එනකන් බලා  උන්නු එක රෑක  ඔයා වාහනේකින් ඇවිත් ඔයාගේ ඇඳුම් පැළඳුම් සේරම පටව ගත්ත හැටි.... මම බලන් හිටිය එක කඳුළු බිංඳුවක්වත් නොහෙල.... ඒ වෙනකොට මට අඬන්න ඇස් වල කඳුළු ඉතුරුවෙලා තිබුනේ නෑ. වචනයක්වත් කතා නොකරපු ඔයා ඔයාගේ හමදේම අරගෙන යන්න ගියා.. කාත් කවුරුවත්ම නැති පාළු මූසල ගෙදරක මාවයි පැටියවයි තනිකරල ඔයා ඔයා එයා එක්ක මධුසමයට  පිටත්වුනා.... තව කොච්චරනම් දේවල් මතක් කරන්න පුළුවන්ද... ඒත් එදා නාඬපු මගේ ඇස් මේ දැනුත් ඉකිගහනව.හැමදේම අරන් ගිය ඔයා ඔයාගෙ මතකය විතරක් අරන් නොගියෙ ඇයි?

බැන්ඳ රන් දම්..... මගේ ගෙළ වට
මුදා විසි කොට... අඬන අහසට
මගේ සිහිනයෙ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි....

වසා...........ගන්දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි.....







http://www.youtube.com/watch?v=J8ckzT5j3xk&feature=related

Feb 5, 2012

ඔබ එදා කියූ දේ !



 " අතීතය මහ සයුරක්නම් සිදුවීම් එහි රල පහරවල් වගේ.... නිරන්තරයෙන්ම සිප ගත්තා මගේ සිත..... ඔබට මෙය නොවැටහෙන බව මා දනිමි.... තවමත් මා ඔබ නිසා වේදනා විඳිමි...... මා ඔබට පෙම් කරන තරමට ඔබ මට පෙම් නොකරන බව සැබෑය................."

                 මතකද ඔයාට මේ වචන පේළි ටික ? මේ ඔයා මට එවපු පළවෙනි පෙම් හසුන පටන් අරන් තිබුන විදිය.ඒ මීට වසර ගනනාවකට කලින් හරියටම කිව්වොත් 18 කට කලින්. ඔයාගෙයි කියන කිසිම දෙයක් අද මං ළඟ නෑ එත් ඔයාගෙ මේ වචන ගලේ කෙටූ අකුරු වගේ මගේ හිතේ නොමැකෙන විදියට ලියවිලා තියෙනව.

            පුංචිම පුංචි හිරිමල් කෙල්ලෙක් සංදියෙදි ඔයා මගේ හිතට එබෙන්න උත්සහ කලේ...මාස ගනනාවක්... ඉන්න ඒකත් මං හරියටම කියන්නම් .... හරියටම මාස 7 ක්.... ඔව් මාස 7ක්....ඔයා මගේ ආදරේ ඉල්ල ඉල්ල පස්සෙන් ආවා.ඒත් මං ඔයාව ගනන් ගත්තෙ නෑ.. මං ආඩම්බරයි ඒ දවස්වල ගොඩක්.... ඔයා ඔයාගෙ උත්සහය අතඇරියෙත් නෑ...මාස ගනනාවක් පස්සෙන් ඇවිත් හෙම්බත් වුණ ඔයා මගේ යාළුවෙකුගේ අතේ කොහොම හරි මට කියවන්න කියලා ලිපියක් දීල තිබුණ... ඒක හරියට දුක්බර ප්‍රේම  කාව්‍යක් වගේ.ආඩම්බර පුංචි මගේ හිත සසළ කලා ඒ ලිපිය....ඔතින් මං ඔයාට පැරදුණ....  ඔයා දිනුවා....එදා මං ඔයාට දිනුම දීල ඔයාගෙ ආදරේ පිළිඅරන් මං මගේ මුලු ජීවිතේම වරද්ද ගත්ත. ඒ වරදට මම තමත් දඩුවම් විඳිනව.... ඔයාගේ ආදරේ මාව ඇදලා දැම්මේ සුලු පටු අගාධෙකට නෙවෙයි.ඔයාගෙ පෙම්වතිය... ඔයාගේ බිරිඳ හැටියට ඔයා ළඟ ගෙවුණ වසර දහයට මට උරුම වුනේ කඳුළ සුසුම වේදනාව... මං ගැනම උපන් ආත්මානුකම්පාව සහ කලකිරීම විතරමයි.ඔයාට වෛර කරන්නත් නොහිතුනාම නෙවෙයි. ඒත් මම ඒ සිතුවිල්ලට තටු ගහල ඉගිළෙන්න ඉඩ දුන්නෙ නෑ.ඒ මම ඒ දවස්වල ඕනාවටත් වැඩිය හොඳ කෙනෙක් වුන නිසා වෙන්න ඇති.රන්ඩු කරල , වෛර කරල පලි අරගෙන දිනාගන්න තරම් පිරිසිදු ප්‍රේමයක් ඇත්තටම ඔයා ළඟ තිබුනේ නෑ... කිලිටි වෙච්ච පිළුණු වෙච්ච ආදරයක් මට බලෙන් ළඟ තියාගෙන ඉන්න ඕන උනෙත් නෑ...
            ඉතිං ඔයා නිදහසේ ඉගිල්ලිලා ගියා....මං  බලන් හිටියා කවදම හරි   ඔයාටම හිතුණ දවසක ආයෙමත් ඒවි කියල.... එත් ඔයා ආවෙ නෑ..... ඔව් ඔයා යන්නම ගියා....
        දන්නවද එදා ඔයා මට ලියලා එවපු වචන ටික මං අද ඔයාටම කියනව..... බලන්න ඒක හොදටම ගැලපෙන්නෙ ඔයාටම නේද....?


                   

 " අතීතය මහ සයුරක්නම් සිදුවීම් එහි රල පහරවල් වගේ.... නිරන්තරයෙන්ම සිප ගත්තා මගේ සිත..... ඔබට මෙය නොවැටහෙන බව මා දනිමි.... තවමත් මා ඔබ නිසා වේදනා විඳිමි...... මා ඔබට පෙම් කරන තරමට ඔබ මට පෙම් නොකරන බව සැබෑය................."
                           

         

Jan 31, 2012

දික්කසාද පෙම්බරී !

                                 මී කුණක් මෙන් අප්පිරියාවෙන් වළ දැම්ම අතීතය ගොඩට අරගෙන මම මේ හදන්නෙ ආපහු පලාතම ගද ගස්සන්නද කියල මටම වෙලාවකට හිතෙනව.මේකෙන් රිදෙන්නෙත් මගෙම හිත විතරමද....... නෑ ... කවද හරි කවදාම හරි ඔයා මේක බලන්න ඕනෙ...... කියවන්න ඕනෙ.........මගේ එකම ප්‍රාර්තනය ඒක තමා. මං වගේම ඔයත් විඳවන්න ඕනෙ...... මට දැනෙන මේ දුකම ඔයාටත් දැනෙන්න ඕනෙ...... තරහකට නෙමෙයි මෙහෙම කියන්නෙ..මං විඳපු , තාමත් විඳවන මේ දුක ඔයාටත් යන්තමට හරි දැනෙනවද කියල මට දැනගන්න ඕනෙ..... 


                               වසර හතරක ප්‍රේමය..... වසර හයක කසාඳ ජීවිතය ලේසියෙන්......හරිම ලේසියෙන් අත  ඇරල ඔයා යන්න ගියා..... මට මුකුත් අහන්න බැරි වුණා.... අහපු දේවල් වලටවත් ඔයාගෙන් උත්තර ලැබුනේ  නෑ. අදටත් සමහර දෙවල් මට ප්‍රශ්නයක්. ඒවට උත්තර හොයන්න දැන් ප්‍රමද වැඩී තමා. ඒත් මාව දාලා ගියේ ඇයි  කියලා අහන්න මට අයිතියක් තියෙනව....කවදා හරි මේක දැකලවත් මට ඒවට උත්තර ලැබුනොත් මට ඒ ඇති.

ඇහෙනවද............. 

              මං මේ ලියන්නෙ ඔයාට.......මේ ලියන්නෙ   මගෙ

             ජීවිතේ....  පරණ වෙච්ච කඩමාල්ලක්   වගේ  ඔයා පැත්තකට

           විසි කරපු මගෙ ජීවිතේ....මාව දාලා යද්දි  මට ඔයාට 

          කියන්න බැරි වුණ...... ඔයාගෙන් අහගන්න බැරි වු හැමදේම

         මම මේකේ ලියනව..... අද හෙට නැතත් කවදම හරි ඔයාට 

        මේක බලන්න ලැබෙයි එදාටවත් හිතුනොත් ඔයා කලේ 

         වරදක් කියල මට ඒ ඇති.