Sep 4, 2012

මේ වැස්ස නවතින්න... මගේ හිත අඬනවා...




ඔයාට අමතක උනා නේද..... ඊයෙ දවස ගැන..... බිනර මහේ 03 වෙනිදා ... අමතකයිද ..? මම දන්නව ඔයාට මතක නෑ ඒත් මට අමතක නෑ මීට හරියටම  අවුරුදු 15 ට කලින් අපි අපේම වෙච්ච ඒ දවස මම කොහොම අමතක කරන්නද... ඊයෙ මහ හුඟක් මෙහෙට වැස්සා මම වැස්ස දිහා බලාගෙන අපේ ජීවිතේ ගෙවුණු ඒ ලස්සනම දවස් සිහිපත් කලා.

මම දන්නවා එදා වගේම අදත් අපි එකට හිටියනම්  ඔයා මේ දවස සමරන්න ලොකු පාටියක් දාවි.අවුරුදු 15 ක විවාහ ජීවිතයක් කියන්නෙ කොයි තරම් ලොකු කාලයක්ද... ඒත් මේ ගෙවුණ  වසර පහලවෙන් අවුරුදු නවයක්ම මම ගෙව්වෙ මිනිහා දාල ගිය ගැහැණියක් විදියට.පුංචිම පුංචි වයසකදි මේ තරම් ලොකු දඬුවමක් මගේ ජීවිතේට දීල ඔයා මාව මෙහෙම අසරණ කලේ මොන හිතකින්ද කියල මම ඇහුවොත් ඔයාට උත්තර නෑ නේද ...?මගේ තරුණ ජීවිතේ හොදම කාලෙ මට  අයිති උනේ අඬන්න දොඩන්න හූල්ලන්න දුක් විඳින්න තනිවෙන්න.


මම දන්නවා ඊයේ අපේ  විවාහ සංවස්තරේ කියලා ඔයාට යාන්තමින්වත් සිහියට එන්න නැතුව ඇති.මම උනත් ඒක හිතේම තියා ගත්තා මිසක් කාටවත්ම කියන්න ගියේ නෑ. එහෙම උනානම් කට්ටිය මට දෙහිකපාවි හොදට.තාමත් ඕවා සිහියෙ  තියන් ඉන්නවද කියල. ලවක් දෙවක් නැතුව කට්ටිය ඔයාටත් දෙස් දෙවොල් තියාවි.එහෙම කරන්න එයාලට අයිතිය තියෙනවා. ඒත් මට අපේ කට්ටිය ලව්වා ඔයාට බන්නන්න අදටත් හිත හදා ගන්න බෑ.


ඊයෙ වගේම අදත් මහ වැස්ස. මේ වැස්සත් එක්ක බැඳිච්ච අපේ මතකනම් කොයි තරං ඇද්ද..දුකයි තමයි ඒත් ඒ දෙවල් මතක් නොකර ඉන්න තරම් මගේ හිතට හයියක් නෑ.වෙලාවකට මේ වැස්සත් එක්ක මට කේන්ති.පහුගිය මතකය මගේ හිතට කොච්චර වද දෙනවද කියල මේ වැස්ස දන්නෙ නෑ.ඒත් මම කොහොමද වැස්සට දොස් කියන්නෙ...මාව ජීවත් කරවන්නෙ තාමත් ඒ මතකය වෙච්ච කොට.


අඬනකොට මහා හයියෙන් අහස

කොටනවා විදුලි මගෙ හිත මත
තනිව තෙමෙමින් විසුල අහස යට
හොයනවා බොඳව වියැකුණු මතක

දන්නවා මේ වැස්ස යටම ඔබ

ඇගේ අත අරන් පියමනින බව
අනේ හමුවුනොත් පෙර අපෙ මතක
දැක්ක නොදැක්කා වගේ යනවාද

Jun 29, 2012

තාම හිතේ ඔබ ඇරුනම කවුරුත් නෑනේ !

                 


                                          හිතුවෙවත් නැති වෙලාවක හරිම අහඹු විදියට අද මට ඔයාව මුණ ගැහුණා.පපුව ගිනියම් වෙලා ඇස් දෙක සීතළ වුනා. මම බය උනා කඳුලු වලින් ඇස්  දෙක බොඳ උනොත් ඔයාව හරියට බලා ගන්න බැරි වෙයි කියල.උනන උනන හැම කඳුළක්ම ලේස්න්සුවට තෙත මාත්තු කර කර මම ඔයාට හොරෙන් ඔයා දිහාම බලන් හිටිය.ඔයා ඉස්සරට වැඩිය දැන් ගොඩක් මහතයි.ලොකු බඩගෙඩියකුත් දාලා. ඒත් අඩි හයකටත් වැඩිය උස ඔයාට ඒක ඒ තරම් කැත නෑ.රාක්ක අස්සෙ එහා මෙහා වෙන  ඔයාගෙන් වසං වෙවී ඔයාගෙ පස්සෙන් වැටි වැටී ඔයාව  ළඟට බලා ගන්න අනේ මම විඳපු දුකක් ඔයා දන්නවනම්.....

                                     මේක එච්චර හොද වැඩක් නෙවෙයි පුලුවන් ඉක්මනට මෙතනින් ඈත් වෙයන්... කියල මගේ බුද්ධිය මට කීප සැරයක්ම අනතුරු ඇගෙව්ව.ඒත් හදවත හිටියෙ ඒවා අහන්න පුලුවන් තරම් සිහි කල්පනාවකින් නෙවෙයි.වේලිලා කර කුට්ටං වෙච්ච හදවතේ හැම කේශ නාලිකාවකටම ලේ පිරෙනව මට දැනුන.මට ඕන උනේ ඔය ඇස් දිහා බලන්න. රාක්ක දිගේ උඩටත් පල්ලෙහාටත් දුව්න ඇස් මම මොහොතකට හොරෙන්ම අල්ල ගත්ත. තාම එදා වගේමයි කිසිම වෙනසක් නෑ....ඔයාට මම කොහොම කියන්නද ... තාමත් මම ආදරේම... ආසම ඔය ඇස් හ්ඩෙකට කියල....

                                          තප්පරයක් ගියේ නෑ එක පාරටම කොහේදෝ ඉඳන් ආපු එයා ඔයාගෙ අතින් අල්ල ගත්ත.. ඔයා හැරිල එයා දිහා බලල මොනාදෝ කිව්ව... මම දඩස් ගාලා අනිත් පැත්තට හැරුන... ඔව් ඒ තමා මම මේ ජීවිතේ දකින්න අකමැතිම දසුන... එයා ඔයා එක්ක...ඒ ඇත්ත පිළිගන්න අදටත් මේ ඇස් සූදනම් නෑ...මිලදී ගන්න තෝර ගත්ත අඩුම කුඩුම ටික එහෙමම  රාක්කෙකට අතඇරල මම එලියට දුවගෙන ආවා.එතකොටයි දන්නෙ  මහා හයියෙන්  වහින බව... මේ වැස්සට පුලුවන්ද මගේ කඳුළු වැස්ස පරාද කරන්න...මම තෙමි තෙමිම ඇවිත් ත්‍රීවීල් එකකට නැග්ග.ත්‍රීවීල් එකේ මහ සද්දෙට දාල තිබුන සිංදුව මගේ කඳුළු ආයෙම අලුත් කලා.

 හැමදාම හඬන සිත හදන්න ඔබ ළඟ නෑනේ
 කවුරුවත් එපා මගෙ තනියට දුක දැනුනාවේ
 ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ
 මට විතරද දුක දැනෙන්නෙ මං දන්නෑනේ....

 සඳ මඬළට උපමාකර කවි ලිව් කාලේ
 කාගෙත් දුක  දැනෙනා හිතක් ඔබ සතු වූයේ
 කඳුලු බලා ඔබ මට අද හිනැහෙනවානේ
 ඔබවම සිත පතනා කරුණ මං දන්නෑනේ....

 නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ
 තාම හිතේ ඔබ ඇරුනම කවුරුත් නෑනේ
 අද නැති මුත් ළඟ සිටි දා හිත හැදුවානේ
 හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ....

        

Jun 11, 2012

මං හින්දා දවසක ඔබ හඬාවි !






සෙනෙහසේ ගං දෑළ කෙළවරක
නුඹ පිපී උන් අරුම ඉස්සරම
කෙකටියා මල් සුවඳ ගෙන වඩින
මුඳු සුළඟ පවසාවි මට දුකින


යෞවනේ උයන මත සැරිසරණ
නෙක බිඟුන් පැතුවාට මුඳු පහස
නොවී අවනත බඹර පහසකට
තනි වෙච්ච තනි රෝස මල තවම


ජීවිතේ දිගු ගමන් මග මෙහෙම
යනෙන විට අත් වාරුවක් නැතුව
අතීතේ මතක මං පෙත තනිව
හොයමි තවමත් පුරුදු ඒ සුවඳ


 මට තව අඬන්න ඕනෙ..... ඒත් කෝ කඳුළු.....පහුගිය අවුරුදු අට පුරාම ඔයා  හිතේ හැටියට හිනා වෙද්දි මම  කලේ හිතේ හැටියට අඬපු එක.... විඳවපු එක...දැන් මේ කඳුලු මටම අප්පිරියයි....ඔව් ඇත්තටම ඔයාගේ මතකය මට මහා අප්පිරියයි...ඒත් ඒත් ... ඒ අතීතෙට මම තාමත් ආදරෙයි... ඒ නිසා මට ඔයාව අමතක කරන්න බෑ....

        මතකද කාලයක් අපි හරි සතුටින් හිටිය....? පාන්දරම නැගිටල උයල  ඔයා වැඩට යන්න ලෑස්ති වෙනකං මම පොඩි එකෙක්ට වගේ ඔයා පස්සේ වැටි වැටී ඔයාට බත් කැව්වා. ඒ දවස්වල හැමදාමත් ඔයා  මම කවන බත් එක කාලා උදේ වැඩට ගියේ.... හැමදාමත් ඔයාගෙ කකුල් දෙක අල්ලලා වැඳලා නින්දට ගිය මං ගැන තමා ඔයා පස්සේ කාලෙක අර ඔයාගේ ජීවිතේට  රිංගපු අනිත් කෙනාට මහ හුගක් වැරදි අඩුපාඩු කියලා තිබුනේ...ඒ ගැන මට පුදුමයක් නෑ මොකද  තමන්ගේ ගෑණිගේ හොද කිය කිය  වෙන ගෑණියෙක්ට ළං වෙන්න බෑනේ.ඔයා විතරක් නෙවෙයි කොයි පිරිමියත්  ඔය අවස්ථාවේදී කරන්නෙ ඔයා කරපු දේමයි.ඒත් .. ඒත්... ඔයාගේ හදවත ඇත්ත දන්නවා නේද ....?

      " මට  සමාවෙන්න... මම වරදක් කලා " කියල කවදාවත් ඇවිත් නොකිව්වට කමක් නෑ. ඒත් ඔයා  අන්තිම හුස්ම හෙලන කවදම හරි දවසක ඔයා ඔයාගේ හෘදසාක්ශියට එක තප්පරේකට හරි ඇහුම්කන් දෙන්න.එදාට ඔය ඇස් වලින් මං  වෙනුවෙන් කඳුළක් වැටෙනවාමයි.

May 28, 2012

කාට කියන්නද මේ දුක..... ඔබ හැර





  " රාත්‍රිය වී නිහඬව නිසළව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුඳුරු වුනේ ඇයි
    හිමිසඳුනේ........."

නිදි නැතිව ගෙවෙන පාලු රාත්‍රිය සිසාරා කොහේදෝ ඈතකින් ඒ ගී හඬ ගලාගෙන  එනව.පපුව හිර කරගෙන ඇස් වලට උණන ලොකු කඳුළු බිඳුවක් එක්ක ඔයා මගේ මතකෙට එනව.හදවතටන කතා කරන මේ වගේ ගීතයක් කණ වැකෙද්දි ..... සේකරයන්ගේ පද පෙළක් නෙත ගැටෙද්දි.....සන්නස්ගලගෙ වස්සාන සිහිනේ ආයේ ආයේ  කියව කියව හිත පාරගනිද්දි මට ඔයාව මතක් වෙන්නව.


                ඔයා දැන් මගෙ නෙවෙයි කියල කොච්චර මේ හිතට මතක් කරල දුන්නත් හිත එක පිළිගන්න කැමති නෑ........අඬන්නෙපා කිව්වට ඇස් දෙක අහන්නේ නෑ.......මට කියන්න මාව අමතක කරල සතුටින් ඉන්න ඔයාට පුලුවන් වුනාද.......? දවසට එක  සැරයක්..... එකෝම එක සැරයක්වත් මාව මතක් වෙන්නෙ නැද්ද....?

 ඔබේ ඇස් දෙක මතක් කර කර
 හිතින් මම දුක් විඳින අන්දම
 කියන් නෑ මං කාටවත් හෙම
 බනින්නේ උන් නුඹට හින්දම

 ඔබේ ඇස් දෙක මතක් කර කර
 හිතින් මං ඔය සුවඳ විඳ විඳ
ලියන තරමක් හිතින් කව් පද
දන්නෙ නෑ වෙන කවුරුවත් හෙම

ඔබේ ඇස් දෙක මතක් කර කර
හුදකලාවම ගෙවන දිගු රැය
නුඹට මං ගැන වගක් නැති වග
දැන දැනත් මම නොදන්නා ලෙස

May 25, 2012

මියෙන තුරු මඟ බලමි !







                                         ඔයා හරිම ලේසියෙන් අමතක කරපු , තාමත් අමතක කරගන්න බැරුව මං විඳවන ඒ මතකය මාව රිදවන තරම් ඔයා දන්නේ නෑ....ආදරේ වෙනුවෙන් හැමදේම අත්හැරල ඔයාවම ඔයාවම විතරක් විශ්වාස කරල ආව මට ඔයා මේ දුන්න දඬුවම දරුණු වැඩී කියල ඔයාට එක මොහොතකටවත් හිතුනේ නැද්ද...?

                                             
ඔයා එක්ක එනකොට මම මහා ලොකු ගෑණියෙක් නෙවෙයි. අවුරුදු 18 වත් සම්පූර්න වෙලා තිබුනෙ නෑ.හුරතලේට දඟකාරකමට හැදිච්ච මාව ඔයා උස්සන් ආවෙ ලෝකෙම තියෙන සතුට මට දෙනව කියල පොරොන්දු දීල.මහා ලොකු දෙවල් මම ඔයාගෙන් බලාපොරොත්තු උනේ නෑ මට ඕන වුනේ ඔයාගෙ ආදරේ විතරමයි.කවදා හරි මැරෙන දවස වෙනකන්ම ඔය ඇස් අස්සෙ හිර වෙලා ජීවිතේ ඇහිදින්න මම පෙරුම් පිරුව.හැමදාම රෑට ඔය සුදු කකුල් අල්ලල වැඳල නින්දට ගිය මාව ඔයා හරිම ලේසියෙන් බැල්ලියෙක් වගේ එළියට ඇදල දැම්ම.සමහරුනම් කියනව අද ඔයා ඒ ගැන කම්පා වෙනවා කියල.එත් එදා... හරි වැරද්ද තෝරගන්න පුලුවන් තැනක නෙවෙයි ඔයා හිටියේ.තහනම් සුවඳකට වහ වැටිල ඔයා හිටියෙ ඒ සුවඳින් ජීවිතේම වල්මත් කරගෙන අන්ධ වුන ගානට.අනේ මම එදා වගේම අදත් ඔයාගෙන් අහනවා....එහෙම වෙන්න තරම් මොකක්ද මගෙන් ඔයාට වුන අඩුව ? මේ ප්‍රශ්නෙට උත්තර මම කවදහරි මැරෙනකන්ම බලන් ඉන්නව. ඉඩක් තියෙනවනම් ඇවිත් උත්තර දීල යනවද.....?



කැණිමඬළ ගිනිවදී
කැදැළ්ලම දැවි දැවී
අනේ අපෙ හා පැටවු
කප්පරක් දුක් විඳී

පති දහම් රැක්කෙමී
ඔබ නමට කැප වුණී
කිරි සිනහ විසිරුණී
කැදැළ්ලම හැඩවුණී

කොතනනම් වැරදුණී
ඔබ ඉවත පා වුණී
කුටුම්භය ඉහිරුණී
ජීවිතය නැවතුණී

Apr 27, 2012

කාලය මැව් වෙනසක අරුමය !



ආදරණීය ----------
ඔයාට මතකද?

අපි අපේම වුනාට පස්සෙ ඉස්ස ඉස්සෙල්ලාම
නිදා ගත්ත පුංචි ඇද
පුංචිම පුංචි නෝක්කාඩුවකටවත්
දෙපැත්තට හැරිල නිදා ගන්න ඉඩක් තිබුනෙ නෑ

කාලයක් යද්දි..........

අපි ලො....කූ.... ඇදක් ගත්ත
නෝක්කාඩු වල කෙළවරක් නෑ
කඳුළු වලට සීමාවක් නෑ
අපි අතර මහා හිස් තැනක්

අනේ අහන්න....

අපි මේ හැමදේම අත ඇරල
ආයෙමත් අර පුංචිම තැනින්
ජීවිතය පටන් ගමුද....?

Mar 19, 2012

අතීතය සිහිනයක්ම පමණි !


කප්පරක් කඳුළු කැට ඇස් දෙකේ හිර කරන්
දුක් විඳින පපුව ගැන දුක නැද්ද රත්තරන්
ඇහි පියේ තියාගෙන රැක්කදා කොයි තරන්
බාඳුරා සුවඳකට රැවටුනේ ඇයි කියන්

හිතාගෙන උන්නේ මම මගෙම විතරයි ඔයා
දරාගෙන විරහ ගිනි කෝම ඉන්නද මෙමා
ඔබම දුන් ජීවිතේ මියැදෙන්න ළඟයි දැන්
හුස්ම පිඹලා යන්න එන මගේ රත්තරන්



                                        ජීවිතේ පරණ අහුමුලු අතුගාද්දි අහම්බෙන් මේ නිසදැස මගේ නෙත ගැටුනෙ පරණ දින පොතක තිබිල.ඒ  2006 අවුරුද්දේ මගේ දින පොත. ඒ කියන්නෙ මේ කවට වසර 6ක් වෙනව දැන්. ඒ ඔයා මාව දාල ගිය මුල්ම කාලෙ ඒ දවස්වල මම ඔයා අයේ එනවනම් කියලා කොච්චරක්නම් බලන් හිටියද... මේ දින පොත පුරාම තියෙන්නෙ ඔයා වෙනුවෙන් මම හෙලාපු කඳුළු සුසුම්.

                           දැන් මම ඔයාට එන්න කියන්නේ නෑ වැරදිලාවත්.ඒ කාලේ නාපු ඔයා දැන් කොහොම එන්නද... ආවත් වැඩක් තියෙනවද....ඔයා මගේ වෙච්ච මම ඔයාගේ වෙච්ච කාලෙ දැන් අතීතයක්ම විතරයි. ඒත් අතීතයේ අඳුරු සෙවනැළි විතරක් නෙවේ සොඳුරු සිතුවම් පවා තාමත් මට අමතක කරන්න බැරි හැටි.   
                

Mar 5, 2012

ඔබ ගියත් මගෙන් දුරස් වී !


කියන්නකෝ...
දවසට එකම එක පාරක්වත් මාව
මතක් වෙනවද.....
අපේ ආදරේ..... ඒ ලස්සන දවස්.....
තාමත් මතක තියෙනවද......
කියන්නකෝ....
ඔය ඇස් තාමත් කතාකරනවද......
දන්නවද.....
මම තාමත් ආසම.....
ආදරේම.....
ඔය ඇස් දෙකට තමා
ලෝකෙට පේන්න හිනා වෙලා සතුටින් බව
ඇගෙව්වට
මම වගේම ඔයත්  හිතින් අඬනව නේද....?
ඉතින්....
මාව දාල ගියාට
ඔයාට සැනසීමක් නෑ නේද....
ඔයාගෙ හිත ඔයාට දොස් කියනව නේද...
මම වගේම නිදි නැතුව
ඔයත් මහ රෑට  රහසින් අඬනව නේද...
කියන්නකො...
මේ හැමදේම ඇත්තනම්
තාමත් ඔයා මට ආදරෙයි නේද....?

Feb 27, 2012

ඔබ ඉතිරි කර ගිය මතකය මා රිදවන තරම් !


අහස ගුගුරා ....... අකුණු පුපුරා....
මගේ හිත .....  වැන්දඹු වුනා
වසා ........ ගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි.....

                                      මේ කාලෙකට ඉස්සර ගිය  අග පිපි මල් ටෙලි නාට්‍යයේ  තේමා ගීතය.නන්දා මාලිනියගේ ගැඹුරු සුමඳුර හඬින් ගැයෙන මේ ගීය තමා මම මෙතෙක් අහපු මගේ ජීවිතයට වඩාත්ම සමීප  එකම පද පෙළ. මාලනිය මේ ගයන්නේ මගේ හිත.... මගේ ආත්මය.... මගේ ජීවිතයම නොවේද.....?

ආලයක් නැතී...... තාලයක් නැතී
විජිතයේ....කටු ඔටුනු හැර යම්
කාලයක් අපි ආදරෙන්  සිටි
සොඳුරු මතකය ..අරන් යන්නෙමි


වසා...........ගන්දොර මගේ හිමියනි

නුඹට රිසිනම් යන්ට යන්නෙමි.....
                           

                  කාලයක් තිස්සෙ මම විඳින ... විඳවන ජීවිතේ මේ පද වල අපූරුවට ගැබ් වෙලා තියෙනව. තාමත් නින්ද නොයන මහ රෑට  මම ඇහැරිලා මේ ගීතය රිපීට් කර කර අහල අඬන තරං දන්නෙ මමයි මගේ ඇසුයි විතරමයි.ඇස් පියාගෙන මේ සිංදුව අහද්දි මට මතක් වෙනව ඒ අතීතය...  අමතක කරන්න වෙර දරන ඒත් තාමත් අමතක කරගන්න බැරිවුන ඒ  අතීතය.....

                 මං අපේ අවුරුදු හතරක පුංචි පුතු පැටියව තුරුළු කරගෙන ඔයා එනකන් බලා  උන්නු එක රෑක  ඔයා වාහනේකින් ඇවිත් ඔයාගේ ඇඳුම් පැළඳුම් සේරම පටව ගත්ත හැටි.... මම බලන් හිටිය එක කඳුළු බිංඳුවක්වත් නොහෙල.... ඒ වෙනකොට මට අඬන්න ඇස් වල කඳුළු ඉතුරුවෙලා තිබුනේ නෑ. වචනයක්වත් කතා නොකරපු ඔයා ඔයාගේ හමදේම අරගෙන යන්න ගියා.. කාත් කවුරුවත්ම නැති පාළු මූසල ගෙදරක මාවයි පැටියවයි තනිකරල ඔයා ඔයා එයා එක්ක මධුසමයට  පිටත්වුනා.... තව කොච්චරනම් දේවල් මතක් කරන්න පුළුවන්ද... ඒත් එදා නාඬපු මගේ ඇස් මේ දැනුත් ඉකිගහනව.හැමදේම අරන් ගිය ඔයා ඔයාගෙ මතකය විතරක් අරන් නොගියෙ ඇයි?

බැන්ඳ රන් දම්..... මගේ ගෙළ වට
මුදා විසි කොට... අඬන අහසට
මගේ සිහිනයෙ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි....

වසා...........ගන්දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි.....







http://www.youtube.com/watch?v=J8ckzT5j3xk&feature=related

Feb 22, 2012

මට හරී මහන්සී !

හැල්මේ දුවන මේ ජීවිතේ
මොහොතකට නවත්තල
මං ආසයි දොඩමළු වෙන්න
සමාන හිතැත්තෙක් එක්ක
ඒත් කෝ.......
මේ කොන්ක්‍රීට් වනාන්තරේ එහෙම අය
ලෝකෙට පේන්න හිනා වෙලා
හිතින් වැළපෙන මගේ හිත
මං ආසයි කා ළඟ හරි දිගහරින්න
ඒත් කවුද....
මගේ හිත කියවන්න ඉන්නෙ
මට ඕන වුනේ උසම අත්තක
මලක් වෙලා ඉන්න
කාටවත් ලේසියෙන් නෙලා ගන්න
බැරි තැනක පිපෙන්න
බැතිබරම දෝතකට තිළින වෙන්න
ඒත් හිටි හැටියේ හමා ආපු
සැඩ සුළඟකට අහුවෙලා
මං අකාලෙම බිම පතිත වුණා
දැන් ඉතින් කවුද......
පර මල් පූජාසනේට ගෙනියන්නෙ?

        

Feb 13, 2012

අද ආදරේ දවස ...... ළු.... !


අද පෙම්වතුන්ගේ දවසලු.......උඩ දාගෙන මේ ගොල්ලො මේ සමරන්න හදන්නෙ ප්‍රේමයමද කියල මට තේරුමක් නෑ.ආදරේ කරන්න එක දවසක් ඕනෙ නෑ කියන එක යම් තරමකට පරිණත ගැහැණියක් හැටියට මමත් අද පිලිගන්න සත්‍යයක්.එත් මීට අවුරුදු පහළොවකට දාසයකට ඉස්සර දවස්වල මමත් මේ දවස එනකන් නොඉවසිල්ලෙන් බලන් හිටපු කාලයක් තිබුණ.පෙබරවාරි දාහතර වෙනිදට කලින් මාස ගානක් තිස්සෙ පොකට් මනී වලින් සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල , සමහර දවස්වලට ඉස්කෝලෙදි කෑම නොකා බඩගින්නෙ ඉදල පුංචි චොකලට් පෙත්තක් , වැඩිය මිල නැති ඒත්  හරිම ලස්සන පුංචි සිහිවටනයක් , හරි හුරතල් පාට සුභ පැතුමක් ...... ඔය වගේ  චූටි චූටි දේවල් ටිකක් එකතු කරගන්න පෙරුම් පුරන තරං..... අමාරුවෙන් ඒ ටික එකතු කරගත්තට පස්සෙ ඒක ඔයාගේ අතට දෙන්න විදියක් හොයා ගන්න විඳින දුකක්...... සත්තයි ඒ කාලෙ සුන්දරයි මහ හුගක්..... 

  අද කෙල්ලො කොල්ලො විදින අසීමිත නිදහස  කවදාවත් අපිට තිබිල නෑ.ආදරවන්තයන්ගෙ දිනයට සුභ පැතුමක්, චොකලට් එකක් , රෝස මලක් වගේ දෙයක් දෙනවා ඇරෙන්න මහා ලොකු දෙවල් අපි දැනගෙන හිටියේ නෑ. ඒ හැමදෙයක්ම ඇතුලේ තිබුනේ අහිංසක කමක් ..... ආදරයක්.... හුරතල් බවක්..... ඒත් අද පෙම්වතුන්ගේ දිනය කූට වෙළදුන්ගේ මඩිය තර වෙන දවසක් වෙල , තානයම් ලැගුම් හල් වලට ඉහල ආදායම් ලැබෙන දිනයක් වෙල , මීඩියා වලට තළු මරන්න හොද මාතෘකාවක් වෙලා.....

         කාලෙ වෙනස් තාලෙ අළුත්.... මං මේ හැමදේ දිහාම බලාගෙන තාමත්  මගේ ඒ ලස්සන අතීතේ ජීවත් වෙනව.එහෙම ජීවත් වෙනකොට මට අමතක වෙනව හරීම අහිංසක.... හරීම දුප්පත්  විදියට .... මහ හුගාක් ප්‍රේමණීය විදියට පෙම්වතුන්ගේ දිනය සමරන්න මා එක්ක එකතු වුණු ඔයා අද මං ලඟ නෑ කියල.මගෙන් ඈතට ගිය ඔයත් අද මේ හමා යන රැල්ලට අහුවෙලා දුර ඈතකටම  ගසාගේන් ගිහින්. ඉතින් ඔයා නැතුව මට කොයින්ද පෙම්වතුන්ගේ දවසක්.
                                      
    ඒත් ඔයාට සුභම සුභ ප්‍රේමණීය දවසක්ම වේවා!                               

Feb 7, 2012

ඔබට කියන වගනම් !




ආදරණීය.............

හැම රෑකම මම ඔයාව හීනෙන් දකිනව
මගේ කඳුළු සුසුම් විතරක් නෙවෙයි
මගෙ ජීවිතේ පැතුම පවා එක්කාසු කරගෙන ගිහින්
ඔයා හදාගත්ත අලුත් කූඩුවේ
ඈ ළඟින්  ඔබ ඉන්නවා........
කට්ට කලුවර කාමරේ තනි යහන මත ඉදන්
මම පැය ගනන් ඉකිබිඳිනවා....
ඔයාට වෛර කරන්නවත්....සාප කරන්නවත් මට බෑ...
ඒත්....ඇස් වලට අඩන්න එපා කිවුවට අහන්නෙ නෑ....
ඔයා යන්නම යන්න ගිහින් දැන් වසර ගනනාවක්ම
ගෙවිල ගිහින්......ඒත්....
තාමත් මම මේ යහන පුරාම
ඔයාගෙ සුවඳ හොයනව....
පාලු රාත්‍රියේ ඔයාගෙ හුස්ම මගේ මූණට
වදිනවා වගේ දැනෙනවා...
ඔයා පිටමං වෙද්දි ඔයාගෙ හැම දේම
ඔයාට දෙන්න තරම් මම හිත දැඩි
කරගත්තනම් තමයි
ඒත්... ඔය සුවඳ... ඔය බැල්ම... ඔය හිනාව...
ඔය උණුහුම.... මං පරිස්සමට හංගගෙන ආවා...
ඒ හින්දම මේ පාලු කාමරේ පුරාවට
තාමත් ඔයා ජීවමානයි
බර අඩි තිය තිය තාමත් ඔයා මගේ ජීවිතේ පුරාම ඇවිදිනව...
දුකයි තමා මහ ගොඩාක්...
ඒත්... ඒ දුකවත් නොතිබුනානම් මට ජීවත් වෙන්න අමරු වෙවි  මේ තරමටවත්...

ආදරණීය.........

ප්‍රශ්නයක් නැත්තන් ප්‍රශ්නයක් අහන්නද.....?
ඔයාට මාව හීනෙන්වත් පේන්නෙ නැද්ද.....?

Feb 5, 2012

ඔබ එදා කියූ දේ !



 " අතීතය මහ සයුරක්නම් සිදුවීම් එහි රල පහරවල් වගේ.... නිරන්තරයෙන්ම සිප ගත්තා මගේ සිත..... ඔබට මෙය නොවැටහෙන බව මා දනිමි.... තවමත් මා ඔබ නිසා වේදනා විඳිමි...... මා ඔබට පෙම් කරන තරමට ඔබ මට පෙම් නොකරන බව සැබෑය................."

                 මතකද ඔයාට මේ වචන පේළි ටික ? මේ ඔයා මට එවපු පළවෙනි පෙම් හසුන පටන් අරන් තිබුන විදිය.ඒ මීට වසර ගනනාවකට කලින් හරියටම කිව්වොත් 18 කට කලින්. ඔයාගෙයි කියන කිසිම දෙයක් අද මං ළඟ නෑ එත් ඔයාගෙ මේ වචන ගලේ කෙටූ අකුරු වගේ මගේ හිතේ නොමැකෙන විදියට ලියවිලා තියෙනව.

            පුංචිම පුංචි හිරිමල් කෙල්ලෙක් සංදියෙදි ඔයා මගේ හිතට එබෙන්න උත්සහ කලේ...මාස ගනනාවක්... ඉන්න ඒකත් මං හරියටම කියන්නම් .... හරියටම මාස 7 ක්.... ඔව් මාස 7ක්....ඔයා මගේ ආදරේ ඉල්ල ඉල්ල පස්සෙන් ආවා.ඒත් මං ඔයාව ගනන් ගත්තෙ නෑ.. මං ආඩම්බරයි ඒ දවස්වල ගොඩක්.... ඔයා ඔයාගෙ උත්සහය අතඇරියෙත් නෑ...මාස ගනනාවක් පස්සෙන් ඇවිත් හෙම්බත් වුණ ඔයා මගේ යාළුවෙකුගේ අතේ කොහොම හරි මට කියවන්න කියලා ලිපියක් දීල තිබුණ... ඒක හරියට දුක්බර ප්‍රේම  කාව්‍යක් වගේ.ආඩම්බර පුංචි මගේ හිත සසළ කලා ඒ ලිපිය....ඔතින් මං ඔයාට පැරදුණ....  ඔයා දිනුවා....එදා මං ඔයාට දිනුම දීල ඔයාගෙ ආදරේ පිළිඅරන් මං මගේ මුලු ජීවිතේම වරද්ද ගත්ත. ඒ වරදට මම තමත් දඩුවම් විඳිනව.... ඔයාගේ ආදරේ මාව ඇදලා දැම්මේ සුලු පටු අගාධෙකට නෙවෙයි.ඔයාගෙ පෙම්වතිය... ඔයාගේ බිරිඳ හැටියට ඔයා ළඟ ගෙවුණ වසර දහයට මට උරුම වුනේ කඳුළ සුසුම වේදනාව... මං ගැනම උපන් ආත්මානුකම්පාව සහ කලකිරීම විතරමයි.ඔයාට වෛර කරන්නත් නොහිතුනාම නෙවෙයි. ඒත් මම ඒ සිතුවිල්ලට තටු ගහල ඉගිළෙන්න ඉඩ දුන්නෙ නෑ.ඒ මම ඒ දවස්වල ඕනාවටත් වැඩිය හොඳ කෙනෙක් වුන නිසා වෙන්න ඇති.රන්ඩු කරල , වෛර කරල පලි අරගෙන දිනාගන්න තරම් පිරිසිදු ප්‍රේමයක් ඇත්තටම ඔයා ළඟ තිබුනේ නෑ... කිලිටි වෙච්ච පිළුණු වෙච්ච ආදරයක් මට බලෙන් ළඟ තියාගෙන ඉන්න ඕන උනෙත් නෑ...
            ඉතිං ඔයා නිදහසේ ඉගිල්ලිලා ගියා....මං  බලන් හිටියා කවදම හරි   ඔයාටම හිතුණ දවසක ආයෙමත් ඒවි කියල.... එත් ඔයා ආවෙ නෑ..... ඔව් ඔයා යන්නම ගියා....
        දන්නවද එදා ඔයා මට ලියලා එවපු වචන ටික මං අද ඔයාටම කියනව..... බලන්න ඒක හොදටම ගැලපෙන්නෙ ඔයාටම නේද....?


                   

 " අතීතය මහ සයුරක්නම් සිදුවීම් එහි රල පහරවල් වගේ.... නිරන්තරයෙන්ම සිප ගත්තා මගේ සිත..... ඔබට මෙය නොවැටහෙන බව මා දනිමි.... තවමත් මා ඔබ නිසා වේදනා විඳිමි...... මා ඔබට පෙම් කරන තරමට ඔබ මට පෙම් නොකරන බව සැබෑය................."
                           

         

Feb 2, 2012

මතක කඳුළු !



වෙරළබඬ දුම් රිය මාර්ගයේ දිවෙන
දුම් රිය පෙට්ටියක මං විතරක් තට්ට තනියම
හුදකලා වෙලා
ඉමක් කොණක් පේන්නෙ නැති මහ සාගරය
මගේ ඇස් ඉස්සරහ හෝ ග ගා රැළි ගහනව
හැම දෙයක්ම ඉස්සර වගේමයි.........
කාලෙකට ඉස්සර සුනාමිය ඇවිත් අරන් ගිය
සමහර දේවල් වල පුංචි පුංචි ෂේශයන් ඇරෙන්න
අනිත් හැමදෙම එදා තිබුණ විදියමයි.....වෙනසකට තියෙන්නෙ එදා වගේ මේ වෙරල තීරයේ
දුව පැන ඇවිද්ද අපි දෙන්නා
නැති එක විතරමයි.....එත්....
අපි නැති උනා කියල මේ පරිසරයට කිසිම ගානක් නෑ
අපි වගේ තව අනන්ත අප්‍රමාණ පෙම්වතුන්
එදා අපි වගේම මේ වෙරළ තීරය දිගේ
අත් පටලන් ඇවිද යනව.....
පපුව හිරවෙලා ඇස් දෙකට උණන
කඳුළකින් හැමදේම බොඳවෙලා යනව....
ඉතින්.......
සවන් දෙන්න...
මේ ගල්කිස්ස දුම් රිය ස්ථානයයි.....
මගේ ජීවිතේ....
මගේ ආදරේ....
මගේ කඳුළේ....
සදාකාලික නැවතුම් පොළයි....

Jan 31, 2012

මං මුලා වූයෙමි !

ජීවිතේ ඉස්සරම දවසක
යද්දි තනි මඟ හුදකලාවම
ඇවිත් මගෙ ඇස් ඉස්සරහටම
ආදරෙයි පණ වගේ ඇත්තට
කියා මගෙ හිත මුලා කල සඳ
රැවටුණා මගෙ බොළඳ හදවත


හීන හැමකට ඇවිත් හනිකට
මටත් මගෙ හිත අයිති නැති කොට
මගේ අහසට නුඹයි පුර හඳ
කියා පෙන්නා අහසෙ තරු කැට
බලෙන් පුබුදා පියුම් විල හද
උරා ගත්තා නැවුම් රොන් පොද

 පුදා බැති සිත තබා පුඳසුන
වෙන් කලා හද දෙවොළම නුඹටම
මහාගිරිදඹ වගේ උසකට
අරන් විත් මහ දුරක් හනිකට
යනවවත් නොකියාම දවසක
ගිහින් නුඹ මං තාම එතනම

දික්කසාද පෙම්බරී !

                                 මී කුණක් මෙන් අප්පිරියාවෙන් වළ දැම්ම අතීතය ගොඩට අරගෙන මම මේ හදන්නෙ ආපහු පලාතම ගද ගස්සන්නද කියල මටම වෙලාවකට හිතෙනව.මේකෙන් රිදෙන්නෙත් මගෙම හිත විතරමද....... නෑ ... කවද හරි කවදාම හරි ඔයා මේක බලන්න ඕනෙ...... කියවන්න ඕනෙ.........මගේ එකම ප්‍රාර්තනය ඒක තමා. මං වගේම ඔයත් විඳවන්න ඕනෙ...... මට දැනෙන මේ දුකම ඔයාටත් දැනෙන්න ඕනෙ...... තරහකට නෙමෙයි මෙහෙම කියන්නෙ..මං විඳපු , තාමත් විඳවන මේ දුක ඔයාටත් යන්තමට හරි දැනෙනවද කියල මට දැනගන්න ඕනෙ..... 


                               වසර හතරක ප්‍රේමය..... වසර හයක කසාඳ ජීවිතය ලේසියෙන්......හරිම ලේසියෙන් අත  ඇරල ඔයා යන්න ගියා..... මට මුකුත් අහන්න බැරි වුණා.... අහපු දේවල් වලටවත් ඔයාගෙන් උත්තර ලැබුනේ  නෑ. අදටත් සමහර දෙවල් මට ප්‍රශ්නයක්. ඒවට උත්තර හොයන්න දැන් ප්‍රමද වැඩී තමා. ඒත් මාව දාලා ගියේ ඇයි  කියලා අහන්න මට අයිතියක් තියෙනව....කවදා හරි මේක දැකලවත් මට ඒවට උත්තර ලැබුනොත් මට ඒ ඇති.

ඇහෙනවද............. 

              මං මේ ලියන්නෙ ඔයාට.......මේ ලියන්නෙ   මගෙ

             ජීවිතේ....  පරණ වෙච්ච කඩමාල්ලක්   වගේ  ඔයා පැත්තකට

           විසි කරපු මගෙ ජීවිතේ....මාව දාලා යද්දි  මට ඔයාට 

          කියන්න බැරි වුණ...... ඔයාගෙන් අහගන්න බැරි වු හැමදේම

         මම මේකේ ලියනව..... අද හෙට නැතත් කවදම හරි ඔයාට 

        මේක බලන්න ලැබෙයි එදාටවත් හිතුනොත් ඔයා කලේ 

         වරදක් කියල මට ඒ ඇති.