Showing posts with label ඉරණම්කාරිගේ කවි හිත. Show all posts
Showing posts with label ඉරණම්කාරිගේ කවි හිත. Show all posts

Sep 4, 2012

මේ වැස්ස නවතින්න... මගේ හිත අඬනවා...




ඔයාට අමතක උනා නේද..... ඊයෙ දවස ගැන..... බිනර මහේ 03 වෙනිදා ... අමතකයිද ..? මම දන්නව ඔයාට මතක නෑ ඒත් මට අමතක නෑ මීට හරියටම  අවුරුදු 15 ට කලින් අපි අපේම වෙච්ච ඒ දවස මම කොහොම අමතක කරන්නද... ඊයෙ මහ හුඟක් මෙහෙට වැස්සා මම වැස්ස දිහා බලාගෙන අපේ ජීවිතේ ගෙවුණු ඒ ලස්සනම දවස් සිහිපත් කලා.

මම දන්නවා එදා වගේම අදත් අපි එකට හිටියනම්  ඔයා මේ දවස සමරන්න ලොකු පාටියක් දාවි.අවුරුදු 15 ක විවාහ ජීවිතයක් කියන්නෙ කොයි තරම් ලොකු කාලයක්ද... ඒත් මේ ගෙවුණ  වසර පහලවෙන් අවුරුදු නවයක්ම මම ගෙව්වෙ මිනිහා දාල ගිය ගැහැණියක් විදියට.පුංචිම පුංචි වයසකදි මේ තරම් ලොකු දඬුවමක් මගේ ජීවිතේට දීල ඔයා මාව මෙහෙම අසරණ කලේ මොන හිතකින්ද කියල මම ඇහුවොත් ඔයාට උත්තර නෑ නේද ...?මගේ තරුණ ජීවිතේ හොදම කාලෙ මට  අයිති උනේ අඬන්න දොඩන්න හූල්ලන්න දුක් විඳින්න තනිවෙන්න.


මම දන්නවා ඊයේ අපේ  විවාහ සංවස්තරේ කියලා ඔයාට යාන්තමින්වත් සිහියට එන්න නැතුව ඇති.මම උනත් ඒක හිතේම තියා ගත්තා මිසක් කාටවත්ම කියන්න ගියේ නෑ. එහෙම උනානම් කට්ටිය මට දෙහිකපාවි හොදට.තාමත් ඕවා සිහියෙ  තියන් ඉන්නවද කියල. ලවක් දෙවක් නැතුව කට්ටිය ඔයාටත් දෙස් දෙවොල් තියාවි.එහෙම කරන්න එයාලට අයිතිය තියෙනවා. ඒත් මට අපේ කට්ටිය ලව්වා ඔයාට බන්නන්න අදටත් හිත හදා ගන්න බෑ.


ඊයෙ වගේම අදත් මහ වැස්ස. මේ වැස්සත් එක්ක බැඳිච්ච අපේ මතකනම් කොයි තරං ඇද්ද..දුකයි තමයි ඒත් ඒ දෙවල් මතක් නොකර ඉන්න තරම් මගේ හිතට හයියක් නෑ.වෙලාවකට මේ වැස්සත් එක්ක මට කේන්ති.පහුගිය මතකය මගේ හිතට කොච්චර වද දෙනවද කියල මේ වැස්ස දන්නෙ නෑ.ඒත් මම කොහොමද වැස්සට දොස් කියන්නෙ...මාව ජීවත් කරවන්නෙ තාමත් ඒ මතකය වෙච්ච කොට.


අඬනකොට මහා හයියෙන් අහස

කොටනවා විදුලි මගෙ හිත මත
තනිව තෙමෙමින් විසුල අහස යට
හොයනවා බොඳව වියැකුණු මතක

දන්නවා මේ වැස්ස යටම ඔබ

ඇගේ අත අරන් පියමනින බව
අනේ හමුවුනොත් පෙර අපෙ මතක
දැක්ක නොදැක්කා වගේ යනවාද

Jun 11, 2012

මං හින්දා දවසක ඔබ හඬාවි !






සෙනෙහසේ ගං දෑළ කෙළවරක
නුඹ පිපී උන් අරුම ඉස්සරම
කෙකටියා මල් සුවඳ ගෙන වඩින
මුඳු සුළඟ පවසාවි මට දුකින


යෞවනේ උයන මත සැරිසරණ
නෙක බිඟුන් පැතුවාට මුඳු පහස
නොවී අවනත බඹර පහසකට
තනි වෙච්ච තනි රෝස මල තවම


ජීවිතේ දිගු ගමන් මග මෙහෙම
යනෙන විට අත් වාරුවක් නැතුව
අතීතේ මතක මං පෙත තනිව
හොයමි තවමත් පුරුදු ඒ සුවඳ


 මට තව අඬන්න ඕනෙ..... ඒත් කෝ කඳුළු.....පහුගිය අවුරුදු අට පුරාම ඔයා  හිතේ හැටියට හිනා වෙද්දි මම  කලේ හිතේ හැටියට අඬපු එක.... විඳවපු එක...දැන් මේ කඳුලු මටම අප්පිරියයි....ඔව් ඇත්තටම ඔයාගේ මතකය මට මහා අප්පිරියයි...ඒත් ඒත් ... ඒ අතීතෙට මම තාමත් ආදරෙයි... ඒ නිසා මට ඔයාව අමතක කරන්න බෑ....

        මතකද කාලයක් අපි හරි සතුටින් හිටිය....? පාන්දරම නැගිටල උයල  ඔයා වැඩට යන්න ලෑස්ති වෙනකං මම පොඩි එකෙක්ට වගේ ඔයා පස්සේ වැටි වැටී ඔයාට බත් කැව්වා. ඒ දවස්වල හැමදාමත් ඔයා  මම කවන බත් එක කාලා උදේ වැඩට ගියේ.... හැමදාමත් ඔයාගෙ කකුල් දෙක අල්ලලා වැඳලා නින්දට ගිය මං ගැන තමා ඔයා පස්සේ කාලෙක අර ඔයාගේ ජීවිතේට  රිංගපු අනිත් කෙනාට මහ හුගක් වැරදි අඩුපාඩු කියලා තිබුනේ...ඒ ගැන මට පුදුමයක් නෑ මොකද  තමන්ගේ ගෑණිගේ හොද කිය කිය  වෙන ගෑණියෙක්ට ළං වෙන්න බෑනේ.ඔයා විතරක් නෙවෙයි කොයි පිරිමියත්  ඔය අවස්ථාවේදී කරන්නෙ ඔයා කරපු දේමයි.ඒත් .. ඒත්... ඔයාගේ හදවත ඇත්ත දන්නවා නේද ....?

      " මට  සමාවෙන්න... මම වරදක් කලා " කියල කවදාවත් ඇවිත් නොකිව්වට කමක් නෑ. ඒත් ඔයා  අන්තිම හුස්ම හෙලන කවදම හරි දවසක ඔයා ඔයාගේ හෘදසාක්ශියට එක තප්පරේකට හරි ඇහුම්කන් දෙන්න.එදාට ඔය ඇස් වලින් මං  වෙනුවෙන් කඳුළක් වැටෙනවාමයි.

May 28, 2012

කාට කියන්නද මේ දුක..... ඔබ හැර





  " රාත්‍රිය වී නිහඬව නිසළව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුඳුරු වුනේ ඇයි
    හිමිසඳුනේ........."

නිදි නැතිව ගෙවෙන පාලු රාත්‍රිය සිසාරා කොහේදෝ ඈතකින් ඒ ගී හඬ ගලාගෙන  එනව.පපුව හිර කරගෙන ඇස් වලට උණන ලොකු කඳුළු බිඳුවක් එක්ක ඔයා මගේ මතකෙට එනව.හදවතටන කතා කරන මේ වගේ ගීතයක් කණ වැකෙද්දි ..... සේකරයන්ගේ පද පෙළක් නෙත ගැටෙද්දි.....සන්නස්ගලගෙ වස්සාන සිහිනේ ආයේ ආයේ  කියව කියව හිත පාරගනිද්දි මට ඔයාව මතක් වෙන්නව.


                ඔයා දැන් මගෙ නෙවෙයි කියල කොච්චර මේ හිතට මතක් කරල දුන්නත් හිත එක පිළිගන්න කැමති නෑ........අඬන්නෙපා කිව්වට ඇස් දෙක අහන්නේ නෑ.......මට කියන්න මාව අමතක කරල සතුටින් ඉන්න ඔයාට පුලුවන් වුනාද.......? දවසට එක  සැරයක්..... එකෝම එක සැරයක්වත් මාව මතක් වෙන්නෙ නැද්ද....?

 ඔබේ ඇස් දෙක මතක් කර කර
 හිතින් මම දුක් විඳින අන්දම
 කියන් නෑ මං කාටවත් හෙම
 බනින්නේ උන් නුඹට හින්දම

 ඔබේ ඇස් දෙක මතක් කර කර
 හිතින් මං ඔය සුවඳ විඳ විඳ
ලියන තරමක් හිතින් කව් පද
දන්නෙ නෑ වෙන කවුරුවත් හෙම

ඔබේ ඇස් දෙක මතක් කර කර
හුදකලාවම ගෙවන දිගු රැය
නුඹට මං ගැන වගක් නැති වග
දැන දැනත් මම නොදන්නා ලෙස

May 25, 2012

මියෙන තුරු මඟ බලමි !







                                         ඔයා හරිම ලේසියෙන් අමතක කරපු , තාමත් අමතක කරගන්න බැරුව මං විඳවන ඒ මතකය මාව රිදවන තරම් ඔයා දන්නේ නෑ....ආදරේ වෙනුවෙන් හැමදේම අත්හැරල ඔයාවම ඔයාවම විතරක් විශ්වාස කරල ආව මට ඔයා මේ දුන්න දඬුවම දරුණු වැඩී කියල ඔයාට එක මොහොතකටවත් හිතුනේ නැද්ද...?

                                             
ඔයා එක්ක එනකොට මම මහා ලොකු ගෑණියෙක් නෙවෙයි. අවුරුදු 18 වත් සම්පූර්න වෙලා තිබුනෙ නෑ.හුරතලේට දඟකාරකමට හැදිච්ච මාව ඔයා උස්සන් ආවෙ ලෝකෙම තියෙන සතුට මට දෙනව කියල පොරොන්දු දීල.මහා ලොකු දෙවල් මම ඔයාගෙන් බලාපොරොත්තු උනේ නෑ මට ඕන වුනේ ඔයාගෙ ආදරේ විතරමයි.කවදා හරි මැරෙන දවස වෙනකන්ම ඔය ඇස් අස්සෙ හිර වෙලා ජීවිතේ ඇහිදින්න මම පෙරුම් පිරුව.හැමදාම රෑට ඔය සුදු කකුල් අල්ලල වැඳල නින්දට ගිය මාව ඔයා හරිම ලේසියෙන් බැල්ලියෙක් වගේ එළියට ඇදල දැම්ම.සමහරුනම් කියනව අද ඔයා ඒ ගැන කම්පා වෙනවා කියල.එත් එදා... හරි වැරද්ද තෝරගන්න පුලුවන් තැනක නෙවෙයි ඔයා හිටියේ.තහනම් සුවඳකට වහ වැටිල ඔයා හිටියෙ ඒ සුවඳින් ජීවිතේම වල්මත් කරගෙන අන්ධ වුන ගානට.අනේ මම එදා වගේම අදත් ඔයාගෙන් අහනවා....එහෙම වෙන්න තරම් මොකක්ද මගෙන් ඔයාට වුන අඩුව ? මේ ප්‍රශ්නෙට උත්තර මම කවදහරි මැරෙනකන්ම බලන් ඉන්නව. ඉඩක් තියෙනවනම් ඇවිත් උත්තර දීල යනවද.....?



කැණිමඬළ ගිනිවදී
කැදැළ්ලම දැවි දැවී
අනේ අපෙ හා පැටවු
කප්පරක් දුක් විඳී

පති දහම් රැක්කෙමී
ඔබ නමට කැප වුණී
කිරි සිනහ විසිරුණී
කැදැළ්ලම හැඩවුණී

කොතනනම් වැරදුණී
ඔබ ඉවත පා වුණී
කුටුම්භය ඉහිරුණී
ජීවිතය නැවතුණී

Apr 27, 2012

කාලය මැව් වෙනසක අරුමය !



ආදරණීය ----------
ඔයාට මතකද?

අපි අපේම වුනාට පස්සෙ ඉස්ස ඉස්සෙල්ලාම
නිදා ගත්ත පුංචි ඇද
පුංචිම පුංචි නෝක්කාඩුවකටවත්
දෙපැත්තට හැරිල නිදා ගන්න ඉඩක් තිබුනෙ නෑ

කාලයක් යද්දි..........

අපි ලො....කූ.... ඇදක් ගත්ත
නෝක්කාඩු වල කෙළවරක් නෑ
කඳුළු වලට සීමාවක් නෑ
අපි අතර මහා හිස් තැනක්

අනේ අහන්න....

අපි මේ හැමදේම අත ඇරල
ආයෙමත් අර පුංචිම තැනින්
ජීවිතය පටන් ගමුද....?

Mar 19, 2012

අතීතය සිහිනයක්ම පමණි !


කප්පරක් කඳුළු කැට ඇස් දෙකේ හිර කරන්
දුක් විඳින පපුව ගැන දුක නැද්ද රත්තරන්
ඇහි පියේ තියාගෙන රැක්කදා කොයි තරන්
බාඳුරා සුවඳකට රැවටුනේ ඇයි කියන්

හිතාගෙන උන්නේ මම මගෙම විතරයි ඔයා
දරාගෙන විරහ ගිනි කෝම ඉන්නද මෙමා
ඔබම දුන් ජීවිතේ මියැදෙන්න ළඟයි දැන්
හුස්ම පිඹලා යන්න එන මගේ රත්තරන්



                                        ජීවිතේ පරණ අහුමුලු අතුගාද්දි අහම්බෙන් මේ නිසදැස මගේ නෙත ගැටුනෙ පරණ දින පොතක තිබිල.ඒ  2006 අවුරුද්දේ මගේ දින පොත. ඒ කියන්නෙ මේ කවට වසර 6ක් වෙනව දැන්. ඒ ඔයා මාව දාල ගිය මුල්ම කාලෙ ඒ දවස්වල මම ඔයා අයේ එනවනම් කියලා කොච්චරක්නම් බලන් හිටියද... මේ දින පොත පුරාම තියෙන්නෙ ඔයා වෙනුවෙන් මම හෙලාපු කඳුළු සුසුම්.

                           දැන් මම ඔයාට එන්න කියන්නේ නෑ වැරදිලාවත්.ඒ කාලේ නාපු ඔයා දැන් කොහොම එන්නද... ආවත් වැඩක් තියෙනවද....ඔයා මගේ වෙච්ච මම ඔයාගේ වෙච්ච කාලෙ දැන් අතීතයක්ම විතරයි. ඒත් අතීතයේ අඳුරු සෙවනැළි විතරක් නෙවේ සොඳුරු සිතුවම් පවා තාමත් මට අමතක කරන්න බැරි හැටි.   
                

Mar 5, 2012

ඔබ ගියත් මගෙන් දුරස් වී !


කියන්නකෝ...
දවසට එකම එක පාරක්වත් මාව
මතක් වෙනවද.....
අපේ ආදරේ..... ඒ ලස්සන දවස්.....
තාමත් මතක තියෙනවද......
කියන්නකෝ....
ඔය ඇස් තාමත් කතාකරනවද......
දන්නවද.....
මම තාමත් ආසම.....
ආදරේම.....
ඔය ඇස් දෙකට තමා
ලෝකෙට පේන්න හිනා වෙලා සතුටින් බව
ඇගෙව්වට
මම වගේම ඔයත්  හිතින් අඬනව නේද....?
ඉතින්....
මාව දාල ගියාට
ඔයාට සැනසීමක් නෑ නේද....
ඔයාගෙ හිත ඔයාට දොස් කියනව නේද...
මම වගේම නිදි නැතුව
ඔයත් මහ රෑට  රහසින් අඬනව නේද...
කියන්නකො...
මේ හැමදේම ඇත්තනම්
තාමත් ඔයා මට ආදරෙයි නේද....?

Feb 22, 2012

මට හරී මහන්සී !

හැල්මේ දුවන මේ ජීවිතේ
මොහොතකට නවත්තල
මං ආසයි දොඩමළු වෙන්න
සමාන හිතැත්තෙක් එක්ක
ඒත් කෝ.......
මේ කොන්ක්‍රීට් වනාන්තරේ එහෙම අය
ලෝකෙට පේන්න හිනා වෙලා
හිතින් වැළපෙන මගේ හිත
මං ආසයි කා ළඟ හරි දිගහරින්න
ඒත් කවුද....
මගේ හිත කියවන්න ඉන්නෙ
මට ඕන වුනේ උසම අත්තක
මලක් වෙලා ඉන්න
කාටවත් ලේසියෙන් නෙලා ගන්න
බැරි තැනක පිපෙන්න
බැතිබරම දෝතකට තිළින වෙන්න
ඒත් හිටි හැටියේ හමා ආපු
සැඩ සුළඟකට අහුවෙලා
මං අකාලෙම බිම පතිත වුණා
දැන් ඉතින් කවුද......
පර මල් පූජාසනේට ගෙනියන්නෙ?

        

Feb 7, 2012

ඔබට කියන වගනම් !




ආදරණීය.............

හැම රෑකම මම ඔයාව හීනෙන් දකිනව
මගේ කඳුළු සුසුම් විතරක් නෙවෙයි
මගෙ ජීවිතේ පැතුම පවා එක්කාසු කරගෙන ගිහින්
ඔයා හදාගත්ත අලුත් කූඩුවේ
ඈ ළඟින්  ඔබ ඉන්නවා........
කට්ට කලුවර කාමරේ තනි යහන මත ඉදන්
මම පැය ගනන් ඉකිබිඳිනවා....
ඔයාට වෛර කරන්නවත්....සාප කරන්නවත් මට බෑ...
ඒත්....ඇස් වලට අඩන්න එපා කිවුවට අහන්නෙ නෑ....
ඔයා යන්නම යන්න ගිහින් දැන් වසර ගනනාවක්ම
ගෙවිල ගිහින්......ඒත්....
තාමත් මම මේ යහන පුරාම
ඔයාගෙ සුවඳ හොයනව....
පාලු රාත්‍රියේ ඔයාගෙ හුස්ම මගේ මූණට
වදිනවා වගේ දැනෙනවා...
ඔයා පිටමං වෙද්දි ඔයාගෙ හැම දේම
ඔයාට දෙන්න තරම් මම හිත දැඩි
කරගත්තනම් තමයි
ඒත්... ඔය සුවඳ... ඔය බැල්ම... ඔය හිනාව...
ඔය උණුහුම.... මං පරිස්සමට හංගගෙන ආවා...
ඒ හින්දම මේ පාලු කාමරේ පුරාවට
තාමත් ඔයා ජීවමානයි
බර අඩි තිය තිය තාමත් ඔයා මගේ ජීවිතේ පුරාම ඇවිදිනව...
දුකයි තමා මහ ගොඩාක්...
ඒත්... ඒ දුකවත් නොතිබුනානම් මට ජීවත් වෙන්න අමරු වෙවි  මේ තරමටවත්...

ආදරණීය.........

ප්‍රශ්නයක් නැත්තන් ප්‍රශ්නයක් අහන්නද.....?
ඔයාට මාව හීනෙන්වත් පේන්නෙ නැද්ද.....?

Feb 2, 2012

මතක කඳුළු !



වෙරළබඬ දුම් රිය මාර්ගයේ දිවෙන
දුම් රිය පෙට්ටියක මං විතරක් තට්ට තනියම
හුදකලා වෙලා
ඉමක් කොණක් පේන්නෙ නැති මහ සාගරය
මගේ ඇස් ඉස්සරහ හෝ ග ගා රැළි ගහනව
හැම දෙයක්ම ඉස්සර වගේමයි.........
කාලෙකට ඉස්සර සුනාමිය ඇවිත් අරන් ගිය
සමහර දේවල් වල පුංචි පුංචි ෂේශයන් ඇරෙන්න
අනිත් හැමදෙම එදා තිබුණ විදියමයි.....වෙනසකට තියෙන්නෙ එදා වගේ මේ වෙරල තීරයේ
දුව පැන ඇවිද්ද අපි දෙන්නා
නැති එක විතරමයි.....එත්....
අපි නැති උනා කියල මේ පරිසරයට කිසිම ගානක් නෑ
අපි වගේ තව අනන්ත අප්‍රමාණ පෙම්වතුන්
එදා අපි වගේම මේ වෙරළ තීරය දිගේ
අත් පටලන් ඇවිද යනව.....
පපුව හිරවෙලා ඇස් දෙකට උණන
කඳුළකින් හැමදේම බොඳවෙලා යනව....
ඉතින්.......
සවන් දෙන්න...
මේ ගල්කිස්ස දුම් රිය ස්ථානයයි.....
මගේ ජීවිතේ....
මගේ ආදරේ....
මගේ කඳුළේ....
සදාකාලික නැවතුම් පොළයි....

Jan 31, 2012

මං මුලා වූයෙමි !

ජීවිතේ ඉස්සරම දවසක
යද්දි තනි මඟ හුදකලාවම
ඇවිත් මගෙ ඇස් ඉස්සරහටම
ආදරෙයි පණ වගේ ඇත්තට
කියා මගෙ හිත මුලා කල සඳ
රැවටුණා මගෙ බොළඳ හදවත


හීන හැමකට ඇවිත් හනිකට
මටත් මගෙ හිත අයිති නැති කොට
මගේ අහසට නුඹයි පුර හඳ
කියා පෙන්නා අහසෙ තරු කැට
බලෙන් පුබුදා පියුම් විල හද
උරා ගත්තා නැවුම් රොන් පොද

 පුදා බැති සිත තබා පුඳසුන
වෙන් කලා හද දෙවොළම නුඹටම
මහාගිරිදඹ වගේ උසකට
අරන් විත් මහ දුරක් හනිකට
යනවවත් නොකියාම දවසක
ගිහින් නුඹ මං තාම එතනම