Sep 4, 2012

මේ වැස්ස නවතින්න... මගේ හිත අඬනවා...




ඔයාට අමතක උනා නේද..... ඊයෙ දවස ගැන..... බිනර මහේ 03 වෙනිදා ... අමතකයිද ..? මම දන්නව ඔයාට මතක නෑ ඒත් මට අමතක නෑ මීට හරියටම  අවුරුදු 15 ට කලින් අපි අපේම වෙච්ච ඒ දවස මම කොහොම අමතක කරන්නද... ඊයෙ මහ හුඟක් මෙහෙට වැස්සා මම වැස්ස දිහා බලාගෙන අපේ ජීවිතේ ගෙවුණු ඒ ලස්සනම දවස් සිහිපත් කලා.

මම දන්නවා එදා වගේම අදත් අපි එකට හිටියනම්  ඔයා මේ දවස සමරන්න ලොකු පාටියක් දාවි.අවුරුදු 15 ක විවාහ ජීවිතයක් කියන්නෙ කොයි තරම් ලොකු කාලයක්ද... ඒත් මේ ගෙවුණ  වසර පහලවෙන් අවුරුදු නවයක්ම මම ගෙව්වෙ මිනිහා දාල ගිය ගැහැණියක් විදියට.පුංචිම පුංචි වයසකදි මේ තරම් ලොකු දඬුවමක් මගේ ජීවිතේට දීල ඔයා මාව මෙහෙම අසරණ කලේ මොන හිතකින්ද කියල මම ඇහුවොත් ඔයාට උත්තර නෑ නේද ...?මගේ තරුණ ජීවිතේ හොදම කාලෙ මට  අයිති උනේ අඬන්න දොඩන්න හූල්ලන්න දුක් විඳින්න තනිවෙන්න.


මම දන්නවා ඊයේ අපේ  විවාහ සංවස්තරේ කියලා ඔයාට යාන්තමින්වත් සිහියට එන්න නැතුව ඇති.මම උනත් ඒක හිතේම තියා ගත්තා මිසක් කාටවත්ම කියන්න ගියේ නෑ. එහෙම උනානම් කට්ටිය මට දෙහිකපාවි හොදට.තාමත් ඕවා සිහියෙ  තියන් ඉන්නවද කියල. ලවක් දෙවක් නැතුව කට්ටිය ඔයාටත් දෙස් දෙවොල් තියාවි.එහෙම කරන්න එයාලට අයිතිය තියෙනවා. ඒත් මට අපේ කට්ටිය ලව්වා ඔයාට බන්නන්න අදටත් හිත හදා ගන්න බෑ.


ඊයෙ වගේම අදත් මහ වැස්ස. මේ වැස්සත් එක්ක බැඳිච්ච අපේ මතකනම් කොයි තරං ඇද්ද..දුකයි තමයි ඒත් ඒ දෙවල් මතක් නොකර ඉන්න තරම් මගේ හිතට හයියක් නෑ.වෙලාවකට මේ වැස්සත් එක්ක මට කේන්ති.පහුගිය මතකය මගේ හිතට කොච්චර වද දෙනවද කියල මේ වැස්ස දන්නෙ නෑ.ඒත් මම කොහොමද වැස්සට දොස් කියන්නෙ...මාව ජීවත් කරවන්නෙ තාමත් ඒ මතකය වෙච්ච කොට.


අඬනකොට මහා හයියෙන් අහස

කොටනවා විදුලි මගෙ හිත මත
තනිව තෙමෙමින් විසුල අහස යට
හොයනවා බොඳව වියැකුණු මතක

දන්නවා මේ වැස්ස යටම ඔබ

ඇගේ අත අරන් පියමනින බව
අනේ හමුවුනොත් පෙර අපෙ මතක
දැක්ක නොදැක්කා වගේ යනවාද

10 comments:

Red Riding Hood said...

ම්ම්ම්.. අනේ මන්දා මොනවා කියන්නද කියලා... ඉක්මනට ඔය මතකයන් අමතක වේවා කියලා කියන්නම් අක්කේ.. ඒක තමා ඔයට වෙන්න පුළුවන් හොඳම දේ..

තරියා අබේ said...

අනේ මන්දා..
ලව් කේස් නේ?????
නෝ කමෙන්ට්ස්..

මධුරංග said...

ඔය මතක ටික ඉක්මනටම අමතක කරන්ඩ ලැබෙන්ඩ ඕනා. නැත්නම් මතක් වෙන සැරයක් ගානේම දුක තමා !

ධමිමික ස‍‍දරුවන් said...

අනේ මන්දා...

මට මතක විදිහට මං මේ බ්ලොග් එකට ආවේ පලවෙනි වතාවට.බූට් බ්ලොග් එකක්නේ..එල එල.ජය!

Red Riding Hood said...

මේක නිමක් ලව් සීන් එකක් වත් බූට් බ්ලොග් එකක් වත් කියලා මන් හිතන්නේ නැ සහෝ.. තරිඳු සහ ධම්මික.. සහෝ මේක හිතේ හිර කරගෙන ඉන්න ලොකු වේදනාවක් එළියට දැමීමක්.. කෙනෙක් බැඳලා ඊට පස්සේ අතැරලා දාන එක නිකම් ම නිකන් බූට් එකක් වෙන්නේ නැ.. ඒක අපරාධයක් එක විදිහකින්.. :/

හිරුහිමාවී said...

..............................අනේ මන්ද අප්පා..

දයානන්ද රත්නායක said...

මොකක් ලියන්නද කියලා හිතාගන්න බෑ.. ඒත් මේ අදහසට මම කලකට ඉහතදී ලියූ ගීයක් සිහිට නැගුණා..

"මේ මහ වැස්ස වැටෙන්නේ
මං එදා ඇඬු කඳුලැළි වාගේ..."

මට මේ ගිතය මතක්වෙනවා.

සිඳු said...

හිත හදාගන්න අමාරුයි තමයි. ඒත් එදා තරම්ම ඔයාට දුක නෑ නේද? හිමින් හිමින් හිත හදාගන්න. පුළුවන්නම් ජීවිතේ වෙනත් පැත්තකට ගෙනියන්න උත්සහ කරන්න

දිනෙල්ක said...

මොනවත් ‍‍නොකිය ඉන්නම්කෝ ..................

samadhi said...

අනෙ අම්මෝ අක්කියෝ ඔයා අපිව අඬවනවා.. අපිට මෙච්චර දුක නම්, ඔයා කොහොම විඳවනවා ඇත්ද්?
ඉක්මනටම ඔයාගේ හිතට සහනයක් ලැබෙන්න කියල පතනවා..

Post a Comment