Feb 27, 2012

ඔබ ඉතිරි කර ගිය මතකය මා රිදවන තරම් !


අහස ගුගුරා ....... අකුණු පුපුරා....
මගේ හිත .....  වැන්දඹු වුනා
වසා ........ ගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි.....

                                      මේ කාලෙකට ඉස්සර ගිය  අග පිපි මල් ටෙලි නාට්‍යයේ  තේමා ගීතය.නන්දා මාලිනියගේ ගැඹුරු සුමඳුර හඬින් ගැයෙන මේ ගීය තමා මම මෙතෙක් අහපු මගේ ජීවිතයට වඩාත්ම සමීප  එකම පද පෙළ. මාලනිය මේ ගයන්නේ මගේ හිත.... මගේ ආත්මය.... මගේ ජීවිතයම නොවේද.....?

ආලයක් නැතී...... තාලයක් නැතී
විජිතයේ....කටු ඔටුනු හැර යම්
කාලයක් අපි ආදරෙන්  සිටි
සොඳුරු මතකය ..අරන් යන්නෙමි


වසා...........ගන්දොර මගේ හිමියනි

නුඹට රිසිනම් යන්ට යන්නෙමි.....
                           

                  කාලයක් තිස්සෙ මම විඳින ... විඳවන ජීවිතේ මේ පද වල අපූරුවට ගැබ් වෙලා තියෙනව. තාමත් නින්ද නොයන මහ රෑට  මම ඇහැරිලා මේ ගීතය රිපීට් කර කර අහල අඬන තරං දන්නෙ මමයි මගේ ඇසුයි විතරමයි.ඇස් පියාගෙන මේ සිංදුව අහද්දි මට මතක් වෙනව ඒ අතීතය...  අමතක කරන්න වෙර දරන ඒත් තාමත් අමතක කරගන්න බැරිවුන ඒ  අතීතය.....

                 මං අපේ අවුරුදු හතරක පුංචි පුතු පැටියව තුරුළු කරගෙන ඔයා එනකන් බලා  උන්නු එක රෑක  ඔයා වාහනේකින් ඇවිත් ඔයාගේ ඇඳුම් පැළඳුම් සේරම පටව ගත්ත හැටි.... මම බලන් හිටිය එක කඳුළු බිංඳුවක්වත් නොහෙල.... ඒ වෙනකොට මට අඬන්න ඇස් වල කඳුළු ඉතුරුවෙලා තිබුනේ නෑ. වචනයක්වත් කතා නොකරපු ඔයා ඔයාගේ හමදේම අරගෙන යන්න ගියා.. කාත් කවුරුවත්ම නැති පාළු මූසල ගෙදරක මාවයි පැටියවයි තනිකරල ඔයා ඔයා එයා එක්ක මධුසමයට  පිටත්වුනා.... තව කොච්චරනම් දේවල් මතක් කරන්න පුළුවන්ද... ඒත් එදා නාඬපු මගේ ඇස් මේ දැනුත් ඉකිගහනව.හැමදේම අරන් ගිය ඔයා ඔයාගෙ මතකය විතරක් අරන් නොගියෙ ඇයි?

බැන්ඳ රන් දම්..... මගේ ගෙළ වට
මුදා විසි කොට... අඬන අහසට
මගේ සිහිනයෙ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි....

වසා...........ගන්දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි.....







http://www.youtube.com/watch?v=J8ckzT5j3xk&feature=related

Feb 22, 2012

මට හරී මහන්සී !

හැල්මේ දුවන මේ ජීවිතේ
මොහොතකට නවත්තල
මං ආසයි දොඩමළු වෙන්න
සමාන හිතැත්තෙක් එක්ක
ඒත් කෝ.......
මේ කොන්ක්‍රීට් වනාන්තරේ එහෙම අය
ලෝකෙට පේන්න හිනා වෙලා
හිතින් වැළපෙන මගේ හිත
මං ආසයි කා ළඟ හරි දිගහරින්න
ඒත් කවුද....
මගේ හිත කියවන්න ඉන්නෙ
මට ඕන වුනේ උසම අත්තක
මලක් වෙලා ඉන්න
කාටවත් ලේසියෙන් නෙලා ගන්න
බැරි තැනක පිපෙන්න
බැතිබරම දෝතකට තිළින වෙන්න
ඒත් හිටි හැටියේ හමා ආපු
සැඩ සුළඟකට අහුවෙලා
මං අකාලෙම බිම පතිත වුණා
දැන් ඉතින් කවුද......
පර මල් පූජාසනේට ගෙනියන්නෙ?

        

Feb 13, 2012

අද ආදරේ දවස ...... ළු.... !


අද පෙම්වතුන්ගේ දවසලු.......උඩ දාගෙන මේ ගොල්ලො මේ සමරන්න හදන්නෙ ප්‍රේමයමද කියල මට තේරුමක් නෑ.ආදරේ කරන්න එක දවසක් ඕනෙ නෑ කියන එක යම් තරමකට පරිණත ගැහැණියක් හැටියට මමත් අද පිලිගන්න සත්‍යයක්.එත් මීට අවුරුදු පහළොවකට දාසයකට ඉස්සර දවස්වල මමත් මේ දවස එනකන් නොඉවසිල්ලෙන් බලන් හිටපු කාලයක් තිබුණ.පෙබරවාරි දාහතර වෙනිදට කලින් මාස ගානක් තිස්සෙ පොකට් මනී වලින් සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල , සමහර දවස්වලට ඉස්කෝලෙදි කෑම නොකා බඩගින්නෙ ඉදල පුංචි චොකලට් පෙත්තක් , වැඩිය මිල නැති ඒත්  හරිම ලස්සන පුංචි සිහිවටනයක් , හරි හුරතල් පාට සුභ පැතුමක් ...... ඔය වගේ  චූටි චූටි දේවල් ටිකක් එකතු කරගන්න පෙරුම් පුරන තරං..... අමාරුවෙන් ඒ ටික එකතු කරගත්තට පස්සෙ ඒක ඔයාගේ අතට දෙන්න විදියක් හොයා ගන්න විඳින දුකක්...... සත්තයි ඒ කාලෙ සුන්දරයි මහ හුගක්..... 

  අද කෙල්ලො කොල්ලො විදින අසීමිත නිදහස  කවදාවත් අපිට තිබිල නෑ.ආදරවන්තයන්ගෙ දිනයට සුභ පැතුමක්, චොකලට් එකක් , රෝස මලක් වගේ දෙයක් දෙනවා ඇරෙන්න මහා ලොකු දෙවල් අපි දැනගෙන හිටියේ නෑ. ඒ හැමදෙයක්ම ඇතුලේ තිබුනේ අහිංසක කමක් ..... ආදරයක්.... හුරතල් බවක්..... ඒත් අද පෙම්වතුන්ගේ දිනය කූට වෙළදුන්ගේ මඩිය තර වෙන දවසක් වෙල , තානයම් ලැගුම් හල් වලට ඉහල ආදායම් ලැබෙන දිනයක් වෙල , මීඩියා වලට තළු මරන්න හොද මාතෘකාවක් වෙලා.....

         කාලෙ වෙනස් තාලෙ අළුත්.... මං මේ හැමදේ දිහාම බලාගෙන තාමත්  මගේ ඒ ලස්සන අතීතේ ජීවත් වෙනව.එහෙම ජීවත් වෙනකොට මට අමතක වෙනව හරීම අහිංසක.... හරීම දුප්පත්  විදියට .... මහ හුගාක් ප්‍රේමණීය විදියට පෙම්වතුන්ගේ දිනය සමරන්න මා එක්ක එකතු වුණු ඔයා අද මං ලඟ නෑ කියල.මගෙන් ඈතට ගිය ඔයත් අද මේ හමා යන රැල්ලට අහුවෙලා දුර ඈතකටම  ගසාගේන් ගිහින්. ඉතින් ඔයා නැතුව මට කොයින්ද පෙම්වතුන්ගේ දවසක්.
                                      
    ඒත් ඔයාට සුභම සුභ ප්‍රේමණීය දවසක්ම වේවා!                               

Feb 7, 2012

ඔබට කියන වගනම් !




ආදරණීය.............

හැම රෑකම මම ඔයාව හීනෙන් දකිනව
මගේ කඳුළු සුසුම් විතරක් නෙවෙයි
මගෙ ජීවිතේ පැතුම පවා එක්කාසු කරගෙන ගිහින්
ඔයා හදාගත්ත අලුත් කූඩුවේ
ඈ ළඟින්  ඔබ ඉන්නවා........
කට්ට කලුවර කාමරේ තනි යහන මත ඉදන්
මම පැය ගනන් ඉකිබිඳිනවා....
ඔයාට වෛර කරන්නවත්....සාප කරන්නවත් මට බෑ...
ඒත්....ඇස් වලට අඩන්න එපා කිවුවට අහන්නෙ නෑ....
ඔයා යන්නම යන්න ගිහින් දැන් වසර ගනනාවක්ම
ගෙවිල ගිහින්......ඒත්....
තාමත් මම මේ යහන පුරාම
ඔයාගෙ සුවඳ හොයනව....
පාලු රාත්‍රියේ ඔයාගෙ හුස්ම මගේ මූණට
වදිනවා වගේ දැනෙනවා...
ඔයා පිටමං වෙද්දි ඔයාගෙ හැම දේම
ඔයාට දෙන්න තරම් මම හිත දැඩි
කරගත්තනම් තමයි
ඒත්... ඔය සුවඳ... ඔය බැල්ම... ඔය හිනාව...
ඔය උණුහුම.... මං පරිස්සමට හංගගෙන ආවා...
ඒ හින්දම මේ පාලු කාමරේ පුරාවට
තාමත් ඔයා ජීවමානයි
බර අඩි තිය තිය තාමත් ඔයා මගේ ජීවිතේ පුරාම ඇවිදිනව...
දුකයි තමා මහ ගොඩාක්...
ඒත්... ඒ දුකවත් නොතිබුනානම් මට ජීවත් වෙන්න අමරු වෙවි  මේ තරමටවත්...

ආදරණීය.........

ප්‍රශ්නයක් නැත්තන් ප්‍රශ්නයක් අහන්නද.....?
ඔයාට මාව හීනෙන්වත් පේන්නෙ නැද්ද.....?

Feb 5, 2012

ඔබ එදා කියූ දේ !



 " අතීතය මහ සයුරක්නම් සිදුවීම් එහි රල පහරවල් වගේ.... නිරන්තරයෙන්ම සිප ගත්තා මගේ සිත..... ඔබට මෙය නොවැටහෙන බව මා දනිමි.... තවමත් මා ඔබ නිසා වේදනා විඳිමි...... මා ඔබට පෙම් කරන තරමට ඔබ මට පෙම් නොකරන බව සැබෑය................."

                 මතකද ඔයාට මේ වචන පේළි ටික ? මේ ඔයා මට එවපු පළවෙනි පෙම් හසුන පටන් අරන් තිබුන විදිය.ඒ මීට වසර ගනනාවකට කලින් හරියටම කිව්වොත් 18 කට කලින්. ඔයාගෙයි කියන කිසිම දෙයක් අද මං ළඟ නෑ එත් ඔයාගෙ මේ වචන ගලේ කෙටූ අකුරු වගේ මගේ හිතේ නොමැකෙන විදියට ලියවිලා තියෙනව.

            පුංචිම පුංචි හිරිමල් කෙල්ලෙක් සංදියෙදි ඔයා මගේ හිතට එබෙන්න උත්සහ කලේ...මාස ගනනාවක්... ඉන්න ඒකත් මං හරියටම කියන්නම් .... හරියටම මාස 7 ක්.... ඔව් මාස 7ක්....ඔයා මගේ ආදරේ ඉල්ල ඉල්ල පස්සෙන් ආවා.ඒත් මං ඔයාව ගනන් ගත්තෙ නෑ.. මං ආඩම්බරයි ඒ දවස්වල ගොඩක්.... ඔයා ඔයාගෙ උත්සහය අතඇරියෙත් නෑ...මාස ගනනාවක් පස්සෙන් ඇවිත් හෙම්බත් වුණ ඔයා මගේ යාළුවෙකුගේ අතේ කොහොම හරි මට කියවන්න කියලා ලිපියක් දීල තිබුණ... ඒක හරියට දුක්බර ප්‍රේම  කාව්‍යක් වගේ.ආඩම්බර පුංචි මගේ හිත සසළ කලා ඒ ලිපිය....ඔතින් මං ඔයාට පැරදුණ....  ඔයා දිනුවා....එදා මං ඔයාට දිනුම දීල ඔයාගෙ ආදරේ පිළිඅරන් මං මගේ මුලු ජීවිතේම වරද්ද ගත්ත. ඒ වරදට මම තමත් දඩුවම් විඳිනව.... ඔයාගේ ආදරේ මාව ඇදලා දැම්මේ සුලු පටු අගාධෙකට නෙවෙයි.ඔයාගෙ පෙම්වතිය... ඔයාගේ බිරිඳ හැටියට ඔයා ළඟ ගෙවුණ වසර දහයට මට උරුම වුනේ කඳුළ සුසුම වේදනාව... මං ගැනම උපන් ආත්මානුකම්පාව සහ කලකිරීම විතරමයි.ඔයාට වෛර කරන්නත් නොහිතුනාම නෙවෙයි. ඒත් මම ඒ සිතුවිල්ලට තටු ගහල ඉගිළෙන්න ඉඩ දුන්නෙ නෑ.ඒ මම ඒ දවස්වල ඕනාවටත් වැඩිය හොඳ කෙනෙක් වුන නිසා වෙන්න ඇති.රන්ඩු කරල , වෛර කරල පලි අරගෙන දිනාගන්න තරම් පිරිසිදු ප්‍රේමයක් ඇත්තටම ඔයා ළඟ තිබුනේ නෑ... කිලිටි වෙච්ච පිළුණු වෙච්ච ආදරයක් මට බලෙන් ළඟ තියාගෙන ඉන්න ඕන උනෙත් නෑ...
            ඉතිං ඔයා නිදහසේ ඉගිල්ලිලා ගියා....මං  බලන් හිටියා කවදම හරි   ඔයාටම හිතුණ දවසක ආයෙමත් ඒවි කියල.... එත් ඔයා ආවෙ නෑ..... ඔව් ඔයා යන්නම ගියා....
        දන්නවද එදා ඔයා මට ලියලා එවපු වචන ටික මං අද ඔයාටම කියනව..... බලන්න ඒක හොදටම ගැලපෙන්නෙ ඔයාටම නේද....?


                   

 " අතීතය මහ සයුරක්නම් සිදුවීම් එහි රල පහරවල් වගේ.... නිරන්තරයෙන්ම සිප ගත්තා මගේ සිත..... ඔබට මෙය නොවැටහෙන බව මා දනිමි.... තවමත් මා ඔබ නිසා වේදනා විඳිමි...... මා ඔබට පෙම් කරන තරමට ඔබ මට පෙම් නොකරන බව සැබෑය................."
                           

         

Feb 2, 2012

මතක කඳුළු !



වෙරළබඬ දුම් රිය මාර්ගයේ දිවෙන
දුම් රිය පෙට්ටියක මං විතරක් තට්ට තනියම
හුදකලා වෙලා
ඉමක් කොණක් පේන්නෙ නැති මහ සාගරය
මගේ ඇස් ඉස්සරහ හෝ ග ගා රැළි ගහනව
හැම දෙයක්ම ඉස්සර වගේමයි.........
කාලෙකට ඉස්සර සුනාමිය ඇවිත් අරන් ගිය
සමහර දේවල් වල පුංචි පුංචි ෂේශයන් ඇරෙන්න
අනිත් හැමදෙම එදා තිබුණ විදියමයි.....වෙනසකට තියෙන්නෙ එදා වගේ මේ වෙරල තීරයේ
දුව පැන ඇවිද්ද අපි දෙන්නා
නැති එක විතරමයි.....එත්....
අපි නැති උනා කියල මේ පරිසරයට කිසිම ගානක් නෑ
අපි වගේ තව අනන්ත අප්‍රමාණ පෙම්වතුන්
එදා අපි වගේම මේ වෙරළ තීරය දිගේ
අත් පටලන් ඇවිද යනව.....
පපුව හිරවෙලා ඇස් දෙකට උණන
කඳුළකින් හැමදේම බොඳවෙලා යනව....
ඉතින්.......
සවන් දෙන්න...
මේ ගල්කිස්ස දුම් රිය ස්ථානයයි.....
මගේ ජීවිතේ....
මගේ ආදරේ....
මගේ කඳුළේ....
සදාකාලික නැවතුම් පොළයි....